― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeNewsදේශබන්දුගේ පෙත්සමට විරෝධතා ගොනු කරන්න කල් දෙයි

දේශබන්දුගේ පෙත්සමට විරෝධතා ගොනු කරන්න කල් දෙයි

තමා සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමුකර තිබෙන ලිපියක් බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ගොනු කර ඇති පෙත්සමට විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා අභියාචනාධිකරණය වගඋත්තරකරුවන්ට කල් ලබා දුන්නා.

අරගලය පැවති සමයේ ගාලුමෝදර ගෝඨාගෝගම අරගලයට පහරදීමේ සිද්ධියේ සහ ජනාධිපති මන්දිරයේ තිබී මුදල් සොයා ගැනීමේ සිද්ධියේ සැකකරුවකු වශයෙන් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් නම් කර ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කරගන්නා ලෙසටයි නීතිපතිවරයා විසින් දැනුම් දී ඇත්තේ.

දේශබන්දු තෙන්නකෝන් විසින් ඉදිරිපත් කර තිබෙන මෙම පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

පෙත්සම කැඳවූ අවස්ථාවේ දී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත් අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙන්වා දුන්නේ මෙම නඩුකරයට පාදක වන ලිපිය පෙත්සම්කරු ඉලක්ක කර ගනිමින් නිකුත් කර නොමැති බවයි.

මෙම නඩුවට අදාළව අධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇති නිසා ඊට එරෙහිව විරෝධතා ඉදිරිපත් කිරීමට කල් ලබා දෙන ලෙසත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයෙන් ඉල්ලා සිටියා. එම ඉල්ලීමට අවසර දුන් විනිසුරු මඩුල්ල අදාළ විරෝධතා මැයි මස 24 වැනිදා හෝ ඊට පෙර ගොනුකරන ලෙස නියම කළ අතර ප්‍රතිවිරෝධතා තිබේ නම් මැයි මස 31 වැනිදා ගොනු කරන ලෙස පාර්ශවකරුවන්ට නියෝග කර තිබෙනවා.

ඉන් අනතුරුව පෙත්සම් විභාගය සඳහා ජුනි මස 5 වැනිදා කැඳවීමට ද දින නියම කරනු ලැබුවා. අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නීතිපතිවරයා, පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ එහි ස්ථානාධිපති ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

පෙත්සම්කාර දේශබන්දු තෙන්නකෝන්ගේ නීතිඥවරුන් අධිකරණය හමුවේ කියා සිටියේ ගාලු මුවදොර ගෝඨාගෝගම අරගලයට පහර දීමේ සිද්ධිය සහ ජූලි මස 09 වනදා ජනාධිපති මන්දිරයේ තිබී රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයකට අධික මුදල් සොයාගැනීමේ සිද්ධියේ සැකකරුවන් වශයෙන් තම සේවාදායකයා නම් කර ඔහුගෙන් ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙස නීතිපතිවරයා විසින් ඉකුත් 19 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත උපදෙස් දෙමින් ලිපියක් යොමුකර ඇති බවයි.

යම් සිද්ධියකට සම්බන්ධ පුද්ගලයෙකු සැකකරු වශයෙන් නම් කරන්නේද යන්න තීන්දු කළ යුත්තේ පොලිසිය බවත්එ වැනි තීරණයක් දීමට නීතිපතිවරයාට බලයක් නොමැති බවත් පෙත්සම්කරු පෙන්වා දෙනවා. නීතිපතිවරයාගේ එම ක්‍රියා කලාපය ඔහුගේ බලය ඉක්මවා ගිය නීතිමය වලංගු භාවයක් නැති කටයුත්තක් බවත්මේ තුළින් තමන්ට හිමි ස්වභාවික යුක්ති ධර්මය සහ මූලික අයිතිවාසිකම් කඩවීමක් සිදුවන බවත් පෙත්සම්කාර දේශබන්දු තෙන්නකෝන් තම පෙත්සමෙන් ප්‍රකාශ කර තිබෙනවා.

එබැවින් අදාළ ලිපිය ක්‍රියාත්මක වීම වැළැක්වීමේ සහ ඒ මත තමා අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු නියෝග නිකුත් කරන ලෙසත් පෙත්සම්කාර දේශබන්දු තෙන්නකෝන් වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

මෙම පෙත්සම පසුගියදා සලකා බැලූ අවස්ථාවේ දී දේශබන්දු තෙන්නකෝන් සැකකරුවකු වශයෙන් නම් කරන ලෙස දන්වමින් නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමුකර තිබෙන ලිපිය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් ද නිකුත් කරනු ලැබුවා.