― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsවී අස්වැන්න ඉහළ නැංවීමට රසායනික පොහොර හා කාබනික පොහොර යෙදීම සඳහා කෘෂිකර්ම...

වී අස්වැන්න ඉහළ නැංවීමට රසායනික පොහොර හා කාබනික පොහොර යෙදීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පොහොර නිර්දේශය අඛණ්ඩව ක්‍රියාත්මක කරන්න

වී අස්වැන්න ඉහළ නැංවීමට රසායනික පොහොර හා කාබනික පොහොර යෙදීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පොහොර නිර්දේශය අඛණ්ඩව ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථානයෙන් ඉල්ලීමක් කරනවා.

2021 මහ කන්නයේ දී මෙරට හෙක්ටයාර් එකකට ලබන අස්වැන්න මෙට්‍රික් ටොන් 02ක් දක්වා පහළ ගිය ද, 2022 මහ කන්නයේ දී හෙක්ටයාර් එකකට ලබන අස්වැන්න මෙට්‍රික් ටොන් 3.2ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා යුද්ධ හමුදාව යටතේ ක්‍රියාත්මක කර තිබෙන හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේය.

2023 මහ කන්නයේ දී හෙක්ටයාර් එකකට ලබන අස්වැන්න මෙට්‍රික් ටොන් 05ක් දක්වා ඉහළ නැංවීම අරමුණ බව පැවසූ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා එම ඉළක්කය ජය ගැනීම සඳහා යුද්ධ හමුදාවේ හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ සහයෝගය ලබා දෙන ලෙස ඉල්ලිමක් කළේය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ නිලධාරින් පිරිසක් ඊයේ (22) කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමග කෘෂිකාර්මික අංශයේ ප්‍රගතිය සඳහා යුද්ධ හමුදාවේ දායකත්වය ලබාදීම සම්බන්ධව සාකච්ඡා කළේය.

මෙම සාකච්ඡාවට කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා, ශ්‍රී ලංකා යුධ හමුදාවේ නිලධාරියෙක් වන බ්‍රිගේඩියර් චන්දන පී. අරංගල්ල මහතා සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරිහු පිරිසක් සහභාගි වී සිටියහ.

කුඹුරුවලින් ඉහළ අස්වැන්නක් ලබා ගැනීම සඳහා සියයට 100ක් රසායනික පොහොර හෝ කාබනික පොහොර යෙදීමෙන් නිසි ප්‍රතිඵල ලබා ගත නොහැකි බවත්, කාබනික පොහොර හා රසායනික පොහොර යන දෙවර්ගයම නිසි අනුපාතයකට යෙදීම මත ඉහළ අස්වැන්නක් ලබා ගත හැකි බව හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේය.

එමනිසා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් දැනට නිර්දේශ කර තිබෙන සියයට 30ක් කාබනික පොහොර හා සියයට 70ක් රසායනික පොහොර යෙදීම සඳහා වන නිර්දේශය වී වගාව සඳහා ඉතා සුදුසු බවද එම මධ්‍යස්ථානය සඳහන් කළේය.

මෙහිදී අදහස් පළ කළ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා 2021ට පෙර ශ්‍රී ලංකාවේ හෙක්ටයාර් එකකට ලබන වී අස්වැන්න මෙට්‍රික් ටොන් 4.5ක් දක්වා පැවැති නමුත් 2021 දී කාබනික පොහොර පමණක් යෙදීමේ ප්‍රතිපත්තිය නිසා වී අස්වැන්න හෙක්ටයාර් එකකට මෙට්‍රික් ටොන් 02ක් දක්වා අඩු විය.

නමුත් 2022 මහ කන්නයේ දී එය 3.2ක් දක්වා ඉහළ නංවීමට හැකි වුවත් දිවයිනේ ඇතැම් ප්‍රදේශවලින් වාර්තාගත ඉහළ අස්වැන්නක් ලබා ඇතී බවත් සඳහන් කළේය. එම ගොවීන් කාබනික පොහොර, රසායනික පොහොර , සහ වෙනත් පෝෂණ යෙදවුම් භාවිතා කර තිබේ.

එමනිසා වී වගාවේ ඉහළ අස්වැන්නක් ලබා ගැනීම සදහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පොහොර නිර්දේශය සම්බන්ධව වහාම ‌ ගොවි ජනතාවට නිසි අවබෝධයක් ලබා දෙන ලෙස නිලධාරින්ට උපදෙස් දුන්නේය.

එමෙන්ම මෙරට කෘෂිකාර්මික කටයුතු සංවර්ධනය සඳහා ශ්‍රී ලංකා යුධ හමුදාවේ හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ සහයෝගය ලබාදීමට ද මෙහිදී එකඟත්වය පළ කළේය.