― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeNewsමෙරටින් හමු වූ මැණික් පොකුර අලි බොරුවක්

මෙරටින් හමු වූ මැණික් පොකුර අලි බොරුවක්

මෙරටින් හමුවූ බව කියූ ලොව විශාලතම මැණික් ගල අසත්‍යයක් බවට කෝප් කමිටුවේදී හෙළි වී තිබෙනවා.

ශ්‍රී ලංකාවෙන් හමු වූ ලොව විශාලතම මැණික් පොකුර ලෙස පවසමින් මැණික් ව්‍යාපාරිකයකු විසින් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට ඉදිරිපත් කළ පාෂාණය සම්බන්ධව එම අධිකාරියේ නිලධාරීන් කටයුතු කළ ආකාරය වෘත්තීය ගරුත්වයට නොගැලපෙන බවටයි කෝප් සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර කමිටුව හමුවේ ප්‍රකාශ කළේ.

මෙවැනි පාෂාණ ඕනෑ තරම් හමුවන බැවින් වෘත්තීය මට්ටමේ නිලධාරීන් ඒ සම්බන්ධව කටයුතු කිරීමේදී මීට වඩා වගකීමකින් එය කළ යුතු බව සභාපතිවරයා ප්‍රකාශ කළා. එහිදී කෝප් සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා පැවසූවේ මෙවැනි බොරුවක් කිරීම මගින් මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරීන්ගේ වෘත්තීය ගරුත්වය ද බාල්දුවට ලක්වූ බවයි.

එක් අවස්ථාවකදී මෙම පාෂාණයේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් දස ලක්ෂයක් යනුවෙන් තක්සේරු කළ මෙම පාෂාණය හිමිකරු පසුව එහි වටිනාකම ඇමෙරිකානු ඩොලර් 10,700ට අඩු කර ඇතැයි ද මෙහිදී ප්‍රකාශ කෙරුණා. මෙවැනි අසත්‍යයක් සිදු කළේ තමාගේ සභාපති ධුර කාලයේදී වටිනාම මැණික් පොකුරක් හමුවූ බවට පැවසීමට එවකට මැණික් හා ස්වර්ණාභරණ ආයතනයේ සභාපතිවරයාව සිටි පුද්ගලයාට ආශාවක් තිබීම හේතුවෙන් බවයි අනුර ප්‍රියදර්ශන යාපා සඳහන් කළේ.

එහිදී අදහස් දැක්වූ මැණික් හා ස්වරණාභරණ අධිකාරියේ නිලධාරීන් පෙන්වා දුන්නේ මෙය තම අධිකාරියට හිමිකරු ලබා දුන්නේ තක්සේරු කිරීමට වන අතර එම පුද්ගලයා තම අධිකාරියේ බලපත් ලාභී පුද්ගලයෙක් බවයි. අදාළ පාෂාණයේ මෙහි බර කිලෝ ග්‍රෑම් 510ක් බවටයි ප්‍රකාශ කෙරුණේ. එය රසායනාගාර පරීක්ෂාව සඳහා විදේශකයට යැවූ බව ද නිලධාරීන් ප්‍රකාශ කළා.

එමෙන්ම මෙම මැණික් පොකුර ඔප දැමිය නොහැකි බවත් එය ලොව හමුවූ විශාලතම මැණික් පොකුර ලෙසට ගිනස් පොතට එක්වී ද ඇති බවද ඔවුන් පෙන්වා දුන්නා. එබැවින් එහි මිල සම්බන්ධයෙන් තක්සේරුවක් දිය නොහැකි බවත් දැන් එය කෞතුක භාණ්ඩයක් ලෙස නම් කර ඇති බවත් මැණික් හා ස්වරණාභරණ අධිකාරියේ නිලධාරීන් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

මෙරටින් හමු වූ ලොව විශාලම මැණික් පොකුර යළි මෙරටට රැගෙන විත් ඇති බවටයි පසුගියදා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සඳහන් කළේ. එම මැණික අලෙවි කිරීම සඳහා ස්විට්සර්ලන්තය ඇතුළු රටවල් කිහිපයකට රැගෙන ගිය නමුත් එය අලෙවි නොවූ බව සඳහන්.