― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsමෙරට පෞද්ගලික උපකාරක පන්ති ගුරුවන් සඳහා ඉගැන්වීමේ බලපත්‍රයක් ලබා දීමට යෝජනාවක්

මෙරට පෞද්ගලික උපකාරක පන්ති ගුරුවන් සඳහා ඉගැන්වීමේ බලපත්‍රයක් ලබා දීමට යෝජනාවක්

ජාත්‍යන්තර පාසැල් පිළිබඳව කටයුතු කිරීමට හා ඒවා පිළිබඳ අධීක්‍ෂණය සහ නියාමනය කිරීම පිණිස විශේෂ ඒකකයක් අධ්‍යාපන අමාත්‍යාංශය තුළ පිහිටු වීමට අධ්‍යපන කටයුතු පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී යෝජනා වී තිබේ. මේ සබැඳිව දැනට පවතින නීති රාමුව කාලීන අවශ්‍යතාවයන් අනුව සංශෝධනය විය යුතු බවත්, මෙහිදී අනාවරණය විය.

අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරකව 2023 ජුනි මස 08වැනි දා එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු (ආචාර්ය) වී. රාධක්‍රිෂ්ණන් මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී රැස්විය.

එහිදී ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන ජාත්‍යන්තර පාසැල් පිළිබඳවත්, එම පාසැල් පද්ධතිය මඟින් සිසු දරුවන්ට ලබා දෙන අධ්‍යාපනය හා එහි ගුණාත්මකභාවය ඉහළ නැංවීම පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කෙ‍රුනි. තවද, ‍මෙම පාසැල් පද්ධතිය තුල අධ්‍යාපනය ලබන සිසු දරුවන්ගේ අයිතීන් පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කෙරුනි.

තවද, ජාත්‍යන්තර පාසැල් සහ අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ නොපවතින අනෙකුත් පාසැල් නියාමනය කිරීම සඳහා අවශ්‍ය නිර්නායක ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව (National Education Commission) විසින් සකස් කරමින් පවතින බවත් මෙහිදී අනාවරණය විය.

ගුරු මාරුවීම් මෙන්ම ගුරු උපදේශක සේවයේ (In service Advisors) පවතින ගැටළු පිළිබඳව ද කාරක සභාවේ දී කරුණු සාකච්ඡා කරන ලද අතර, ඒකී ගැටළු නිරාකරණයකිරීමට ගත යුතු පියවර කඩිනමින් ගන්නා ලෙස කාරක සභාවේ සභාපතිවරයා විසින් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් වෙත උපදෙස් ලබා දෙන ලදී.

තවද, රජයේ පාසැල්වල පවතින ගුරු හිඟය පිළිබඳවත් මෙහිදී කාරක සභා‍වේ අවධානයට යොමු වූ අතර, ඉංග්‍රීසි මාධ්‍ය හා උසස් පෙළ පංති සඳහා ගුරුවරුන්ගේ හිඟයක් පවතින බැව් මෙහිදී කරුණු අනාවරණය විය. ඒ අනුව, සිසු දරුවන්ගේ අඛණ්ඩ අධ්‍යාපනයට බාධාවක්ව පවතින මෙම ගුරු හිඟය මඟ හරවා ගැනීම පිණිස අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා ලෙසද කාරක සභාවේ සභාපතිවරයා විසින් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් වෙත අවශ්‍ය උපදෙස් ලබා දෙන ලදී.

දිවයින පුරා පුද්ගලික උපකාරක පංති පවත්වන පුද්ගලික ගුරුවරුන්ගේ ගුණාත්මකභාවය පිළිබඳව කාරක සභාවේ අවධානය යොමු වූ අතර එම ගුරුවරුන්ගේ සුදුසුකම් හා ගුණාත්මකභාවය පිළිබඳව සමාජය තුළ පවතින කතිකාවත පිළිබඳවද කාරක සභාවේ අවධානය යොමු විය. ඒ අනුව, පුද්ගලික ගුරුවරුන් නියාමනයකට යටත් කොට ඔවුනගේ වෘත්තිය සඳහා නිසි පිළිගැනීමක් ඇති කොට දීම වඩාත් සුදුසු බැව් කාරක සභාව විසින් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් වෙත නිර්දේශ කරන ලදී.

වෙනත් රටවල පුද්ගලික ගුරුවන් සඳහා බලපත්‍රයක් (“Teaching License”) ලබා දී එම වෘත්තිය සඳහා වෘත්තීය පිළිගැනීමක් ලබා දී ඇති බව කරුණු අනාවරණය වී ඇති බැවින්, එවැනි ක්‍රමවේදයක් ශ්‍රී ලංකාව තුළද අනුගමනය කිරීම වඩාත් උචිත බව කාරක සභාව විසින් වැඩිදුරටත් නිර්දේශ ඉදිරිපත් කරන ලදී.

එබැවින් එවැනි ක්‍රමවේදයක් සකස් කිරීම පිළිබඳව කඩිනම් අවධානය යොමු කර පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරුන් නියාමනය කොට ඔවුන් සඳහා වෘත්තීමය පිළිගැනීමක් නීත්‍යානුකූලව ලබා දීමට සඳහා ගත යුතු පියවර පිළිබඳ වාර්තාවක් කාරක සභාව වෙත ඉදිරිපත් කරන ලෙස කාරක සභාවේ සභාපති විසින් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් වෙත දැනුම් දෙනලදී.

මෙම රැස්වීම සඳහා කාරක සභාවේ සාමාජිකයන් වන ගරු අසංක නවරත්න, ගරු මුදිතා ප්‍රිශාන්ති, ගරු මංජුලා දිසානායක, ගරු (මහාචාර්ය) චරිත හේරත් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහභාගී වූ අතර පාර්ලිමේන්තුවේ විරුද්ධ පාර්ශ්වයේ නායක ගරු සජිත් ප්‍රේමදාස, ග්‍රාමීය ආර්ථික රාජ්‍ය අමාත්‍ය ගරු කේ. කාදර් මස්තාන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ජේ. සී. අලවතුවල කාරක සභාවේ සභාපතිතුමාගේ අවසරය පරිදි මෙම රැස්වීමට සහභාගී විය.

එමෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශය, ජාතික අධ්‍යාපන ආයතනය, ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සහ Association of International Schools of Sri Lanka (AISL) යන ආයතන වල නිලධාරීන්ද මෙම රැස්වීම සඳහා සහභාගී විය