තම නව පෙම්වතා සමග විවාහ වීමට මාසයක් පමණ කාලයක් තිබියදී පැරණි පෙම්වතාගෙන් විවාහයට අවසර ගන්න ගොස් ඔහුත් සමග දින 03ක කාලයක් ගත කර පැමිණි 23 හැවිරිදි තරුණිය විවාහ කර ගැනීමට නව පෙම්වතා කැමැත්ත පළ කිරීමේ සිදුවීමක් බුලත්සිංහල ප්‍රදේශයෙන් වාර්තා වේ.
මෙම කරුණු අනාවරණ වී ඇත්තේ, තම දියණිය අතුරුදහන්ව ඇති බවට තරුණියගේ මව පසුගියදා බුලත්සිංහල පොලිසියට කළ පැමිණිල්ලකට අනුව තොරතුරු සෙවීමේ දීයි.
බුලත්සිංහල ප්‍රදේශයේ පදිංචි මෙම තරුණිය බුලත්සිංහල ප්‍රදේශයේම පදිංචි තරුණයෙකු සමග කලක සිට පෙර ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් තිබූ බවයි වාර්තා වන්නේ.
කාලයක් ගතවී යද්දී එම සම්බන්ධය මගහැරී ගොස් ඇති අතර තරුණිය වෙනත් ප්‍රදේශයක පදිංචි 27 හැවිරිදි තරුණයෙකු සමග යළි ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන ගොස් තිබේ.
හදිසියේ ම තරුණිය නිවසින් අතුරුදහන්ව ඇත්තේ, ඊට දෙපාර්ශවයෙන්ම ආශිර්වාදය ලැබීම හේතුවෙන් ලබන මාසයේදී ඔවුන් විවාහ වීමට සියලු කටයුතු සූදානම් කර තිබියදී යි.
දියණියගේ අතුරුදහන්වීම පිළිබඳව ඇයගේ මව බුලත්සිංහල පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර ඉන් දින 03කට පසුව තරුණිය නැවත නිවසට පැමිණ තිබේ.
පැමිණිල්ලට අනුව බුලත්සිංහල පොලිසිය තරුණිය පොලිසියට කැඳවා කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ මෙම තරුණිය තම විවාහයට අවසර ගැනීමට සිය පරණ පෙම්වතා හමුවන්නට ගොස් දින තුනකට පසුව යළි නිවසට පැමිණ ඇති බවයි.
ඒ අනුව, පොලිස් ස්ථානාධිපතිවරයා විසින් පැරණි පෙම්වතාත් විවාහ ගිවිස ගැනීමට දින නියම කර සිටි නව පෙම්වතා ඇතුළු සියලුදෙනා පොලිසියට කැඳවා මේ පිළිබඳව කළ දීර්ඝ විමර්ශනයයෙන් අනතුරුව නව පෙම්වතා තරුණිය භාර ගැනීමට කැමැත්ත ප්‍රකාශ කර ඇති බවටයි වාර්තා වන්නේ.
පොලිසිය ප්‍රකාශ කළේ, මේ හේතුවෙන් සිද්ධිය සමතයකට පත් කිරීමට හැකි වූ බවයි.