අවුරුදු සියයකට ආසන්න පැරණි කම්කරු නීති සංශෝධනය කරමින් නූතන වැඩ ලෝකයට ගැලපෙන ආකාරයට සේවා නියුක්ති පනත ගෙන එන බවත්, එමගින් පීතෘ නිවාඩු ලබාදීම, දින 180ක් සේවය කළත් පාරිතෝශික දීමනාවන්ට හිමිකම්කීම වැනි අවස්ථාවන් විවෘත කරන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි
සේවා නියුක්ති පනත් කෙටුම්පත සකස් කිරීමට අදාළ දළ කෙටුම්පත කම්කරු උපදේශක සභාවට පසුගියදා ඉදිරිපත් කළ අතර ඉන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව පැවසුවේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“1935 වගේ බොහෝ ඈත කාලවලදී ගෙනාපු යල් පැන ගිය කම්කරු අන පනත් වෙනස් කරලා ගෙනාපු අලුත් කම්කරු පනත සදහා වන කෙටුම්පත අපි ජාතික කම්කරු උපදේශක සභාවට ඉදිරිපත් කළා. ඒ අයගේ අදහස් හා යෝජනාවලටත් අපි අවස්ථා උදා කරලා තියෙනවා
ඒ අනුව අපි දළ කෙටුම්පත හදලා කම්කරු උපදේශක සභාවට ඉදිරිපත් කළා. මේ ගැන තමන්ගේ අදහස් ඉදිරිපත් කිරීමට කම්කරු උපදේශක සභාවට සති දෙකක කාලයක් ලබාදී තිබෙනවා. ලබන 21 වැනිදා දක්වා සංශෝධන ලබාගෙන ඒ සංශෝධනත් සමග කැබිනට් මණ්ඩලයට ගිහිල්ලා, කැබිනට් මණ්ඩලයේ අනුමැතියෙන්, නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරලා මෙතෙක් අනුගමනය කළ පාරදෘශ්‍ය ක්‍රමවේදය අනුව කටයුතු කරමින් පනත් කෙටුම්පත සම්මත කරගැනීමට කටයුතු කරනවා. අපි වෘත්තීය සමිති, වෘත්තීයවේදීන්ගේ මහජනතාවගේ අදහස් ලබාගෙන තමයි අපි මේ දළ කෙටුම්පත සකස් කර තිබෙන්නේ. මේ කෙටුම්පතේ ඇති සංක්ෂිප්තයක් ඉදිරිපත් කර තිබෙනවා.
සේවයට බදවා ගැනීමේදී, සේවා ස්ථානයේදි වෙනස් කොට සැලකීම වැළැක්වීම සදහා වන නීතිමය ප්‍රතිපාදන අපි මේ හරහා ගෙන එනවා. රැකියා ස්ථානයේදී සියලුම ආකාරයේ හිංසන හා ලිංගික හිරිහැර වැළැක්වීම සදහා අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන අරගෙන එනවා. ලිංගික හිංසනය පිළිබද අංක 190 දරණ සම්මුතිය අපරානුමත කිරීමට මේ මගින් අපට හැකියාව ලැබෙනවා.
ඒ වගේම වෘත්තීය ආරක්ෂාව සෞඛ්‍ය හා සුබසාධනය පිළිබද නව නීති හදුන්වා දෙනවා. වෘත්තීය ආරක්ෂාව හා සුබසාධනය සම්බන්ධයෙන් අංක 155 දරණ සම්මුතිය අපරානුමත කිරීමටත් මේ ප්‍රතිපාදන මගින් හැකියාව ලැබෙනවා. ඒ වගේම පාරිතෝශික ගෙවීම සදහා මේ වන විට තිබෙන සේවකයින් 15ක් සිටිය යුතු බවට හා වසර පහක් සේවය කළ යුතු බවට වන සිමාවන් ඉවත් කිරීමට කටයුතු කරනවා. ඒක ඉවත් කරලා දින 180ක් සෙවය කරන සේවකයාටත් මාස භාගයක පාරිතෝශික ගෙවිය යුතු බවට වන නියමයක් ඉදිරිපත් කරනවා. එතකොට අවුරුද්දක් සේවය කළත් පාරිතෝශික ගන්න පුලුවන්. අවුරුදු පහක් බලාගෙන ඉන්න ඕන නෑ.
කර්මාන්ත ශාලාවක හෝ කාර්මික ව්‍යාපාරකය රාත්‍රී සේවයේ නිරත වන කාන්තාවක් පමණක් නොව ඔනෑම සේවකයෙක් රාත්‍රී සේවයේ යොදවන විට පැයක කරනු ලබන ගෙවීම මෙන් පැය එකහමාරක ගෙවීමක් කළ යුතු බවට වන නීතිමය ප්‍රතිපාදන අරගෙන එනවා. කලින් මේ අවස්ථාව ලැබුණේ කාන්තාවන්ට පමණයි.
පඩි පාලක ආඥා පනතේ, සාප්පු හා කාර්යාල පනතේ තිබෙන සේවා තත්වයන් හා කොන්දේසි පිළිබදව වන සදහන් විධිවිධාන ඉවත් කරලා සමාන තත්වය ලබාදීමට විධිවිධාන ලබාදෙනවා. අනියම් ස්වභාවයේ සේවයේ නිරත සේවා නියුක්තියකන් හැර සේවයට බදවා ගන්නා සියලු දෙනාටම සේවා කොන්දේසි ඇතුලත් පත්වීම් ලිපියක් ලබාදිය යුතු වෙනවා. ඒක අනිවාර්යයි.
සේවා නියුක්තිකයින්ගේ කැමැත්ත මත දින පහක වැඩ කරන සතියක් හා නම්‍යශීලී වැඩ කරන වේලාවන් හදුන්වා දෙනවා. යම් කොන්දේසිවලට යටත්ව කාන්තාවන්ට රාත්‍රියේ සේවා කිරීම සදහා දැනට නීතියේ පවතින කොන්දේසි ලිහිල් කිරීමට කටයුතු කරනවා.
අතිකාල සේවා ගණනය කිරීම සදහා ඒකමිතික ක්‍රමයක් හදුන්වා දෙනවා. අර්ධකාලීන රැකියාවල නිරතවීම සදහා අවස්ථාව ලබාදෙනවා. පුහුණුවන්නන්, ආධුනිකයින් සේවයට බදවා ගැනීම සදහා නීතිය හදුන්වා දෙනවා. ඒවා නිවරදිව නියාමනය කරනවා
ඒ වගේම මේ වන විට නොතිබුණ පීතෘ නිවාඩු ක්‍රමයක් හදුන්වා දෙනවා. දරුවෙක් ලැබෙන විට තාත්තා කෙනෙක්ටත් දරුවා හමුවෙන අවස්ථාවේදී අම්මා, දරුවා සමග සිටීමට දින 3ක නිවාඩුවක් හදුන්වා දී තිබෙනවා. නිවසේ සිට සේවය කිරීමේදී අයිතිවාසිකම් ආරක්ෂා කරදීමට නීතිමය ප්‍රතිපාදන හදුන්වා දෙනවා. විදේශීය සේවා නියුක්තිකයෙක් ලංකාවේ සේවය කිරීමේදී අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටියක් හදුන්වා දෙනවා. දැන් ලංකාවේ ඇවිත් සේවය කරන අය ඉන්නවා. කවුද වැඩ කරන්නේ, කොහොමද වැඩ කරන්නේ කියන එක ගැන දැන් කවුරුවත් දන්නේ නෑ
ගෘහ සේවය කම්කරු නීතිය ඇතුළට ඇතුළත් කරනවා. මෙතෙක් කල් ගෙවල්වල වැඩ කරන, ගෘහ සේවකයින් නීතිමය ආවරණයට ලක් කළේ නෑ. මේ අයත් කම්කරු නීති පද්ධතියට ඇතුළත් වෙනවා. ඒ මගින් සී 189 කියන ජාත්‍යන්තර සම්මුතියත් අපරානුමත කිරීමට හැකියාව ලැබෙනවා. ගොඩක් අය පිටරට වැඩ කරන ගෘහ සේවිකාවන් ගැන කතා කළාට රට ඇතුලේ ගෘහ සේවිකාවන්ට සිදුවන හිරිහැර ගැන කතා කරන්නේ නෑ. අපි ඔවුන්ට රැකවරණය ලබාදෙන නීති ගෙන එනවා.
පඩි පාලක සභා තීරණ මගින් හා ව්‍යවස්ථාපිත නීතිය මගින් අවම වැටුප් තීරණය කිරීමේ ක්‍රමවේදය වෙනුවට ජාතික වේතන කවුන්සිලක් හදුන්වාදී පිළිගත් හා කාලීන නිර්ණායක මත අවම වැටුප් තීරණය කිරීමේ ක්‍රමවේදයක් හදුන්වා දෙනවා.
සේවා නියුක්තිකයන් විසින් සිදුකරන ලබන විෂමාචාර ක්‍රියාවන්ට අදාළ අවසාන විනය තීරණ නිශ්චිත කාල සීමාවක් තුළ ලබාදීමට සේවා යෝජකයින්ට නියම කරන නීතිමය ප්‍රතිපාදන ගෙන ඒමට කටයුතු කරනවා. සේවා යෝජකයින් සිදුකරන අසාධාරණ ක්‍රියාපිළිවෙත් දැනට නීතියේ පවතින ක්‍රමවේදයට අනුවම වෘත්තීය සමිති සිදුකරන අසාධාරණ ක්‍රියාපිළිවෙත් වැළැක්වීමට නීතිමය ප්‍රතිපාදන ගෙන එනවා. අසාධාරණ කම්කරු පිළිවෙත් අනුගමනය කළහොත් දෙපාර්ශවයටම නඩු පැවරීමට හැකි ක්‍රමවේදයක් හදුන්වා දෙනවා.
වැටුපෙන් සාමාජික මුදල් අඩු කරලා වෘත්තීය සමිති වෙත යොමු කිරීම සේවා යෝජකයාට අනිවාර්ය කරනවා. සේවකයෙක් ඉල්ලීමක් කළොත් වෘත්තීය සමිතියට වැටුප කපලා යැවීම අනිවාර්ය කරනවා. වෘත්තීය සමිතියක් පිහිටුවීම සදහා දැනට අවශ්‍ය අවම සාමාජික සංඛ්‍යාව 7යි. ඒ නීතිය ගේන අවස්ථාවේදී රටේ ජනගහනය මිලියන 5.8යි. අපි ඒක 7 සිට 100 දක්වා ඉහළ නංවනවා. වෘත්තීය සමිතියක විධායක සභාවට සියයට 25ක කාන්තා නියෝජනයක් අනිවාර්ය කරනවා. වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට පෙර සේවා යෝජකයා දැනුවත් කිරීම හා වැඩ වර්ජනයක් කිරීමට සාමාජිකයින් බහුතරයකගේ කැමැත්ත ලබාගත යුතු බවට ප්‍රතිපාදන අරගෙන එනවා.
යම් මාර්ගෝපදේශකයන්ට යටත්ව සේවා යෝජකයකාට සේවා ස්ථානයේ රීති හදුන්වා දීමටත්, ඒ සදහා නීතිමය බලයක් ලබාදීමටත් කටයුතු කරනවා. දුර්වල කාර්ය සාධනය, තාක්ෂණික දියුණුව, ප්‍රතිව්‍යුහගත කිරීම හෝ ව්‍යාපාර ප්‍රතිසංවිධානය නිසා රැකියා අතිරික්ත වන විට වන්දි ගෙවා සේවය අවසන් කිරීමේ ක්‍රියාවලිය වඩාත් වේගවත් හා සරල කිරීමට කටයුතු කරනවා. අමුද්‍රව්‍ය නොමැතිකම, ඇණවුම් නොමැතිකම, යන්ත්‍ර සූත්‍ර බිදවැටීම හෝ සේවා යෝජකයාගේ පාලනයෙන් ඔබ්බට ගිය හේතු මත කෙටි කාලීනව සේවය නතර කිරීම කම්කරු කොමසාරිස් ජනරාල්වරයාගේ අවසරය මත කටයුතු කිරීමට පියවරගත හැකියි.
සේවා නියුක්තිකයෙක් සේවයෙන් ඉවත් වන විට මාසයකට පෙර සේවා යෝජකයා දැනුවත් කර ඉවත්ව යා යුතු බවට වන ප්‍රතිපාදන ඇති කරනවා. කවුරුන් හෝ සේවයෙන් ඉවත් වෙනවා නම් මාසයකට පෙර ඒ බව දැනුම් දිය යුතු වෙනවා. විශ්‍රාම යාමේ වයස නැවත සමාලෝචනයට ලක් කරනවා. සෑම වෘත්තියකට ගරුත්වයක් ඇති කිරීමට ඒ ඒ වෘත්තීන් අනුගමනය කළ යුතු ප්‍රමිතීන් හා නිර්නායකයන් හදුන්වා දෙනවා. අපේ රටේ එක එක වෘත්තීන්ට ගරුත්වයක් නෑ කියන චෝදනාවන්ට පිළිතුරක් මේ මගින් ලබාදෙනවා.
සමාජ ආරක්ෂණ අරමුදලක් මගින් මාතෘ ප්‍රතිලාභ, සේවක සෞඛ්‍ය, විරැකියාවකදී වන්දි ගෙවීමට කටයුතු කරනවා. මෙතෙක් කල් හාම්පුතාට පමණක් තිබුණ ඒ බර වෙනම අරමුදලක් හරහා ගෙවීමට කටයුතු කරනවා. ඒ හරහා කාත්නාවන්ට වැඩි අවස්ථා වැඩි කිරීම, රැකියා අවස්ථා සුලබ කිරීමට කටයුතු කරනවා.
සේවකයාගේ කාර්යසාධනය මැන බැලීම සදහා සේවා යෝජකයාට නෛතික බලයක් ලබාදෙනවා. මිනිස් බල සැපයුම් හා රැකියා නියෝජිත ආයතන නියමානුකූල කිරීමට කටයුතු කරනවා. ඉලෙට්‍රොනික් මාධ්‍යයේ වේතන ක්‍රමයක් හදුන්වාදීමට කටයුතු කරනවා. ඒ වගේම ජාතික ශ්‍රම බලකාය පිළිබද දත්ත පද්ධතියක් මේ පනත හරහා නිර්මාණය කිරිමට කටයුතු කරනවා. ”