මහා විහාර සංවර්ධන සැලැස්මට ප්‍රමුඛත්වය දෙමින් අනුරාධපුර පුජා භූමි සංවර්ධන සැලැස්ම කඩිනම් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
මහා විහාර සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ විශ්වවිද්‍යාලවල විශේෂඥ කණ්ඩායමක්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට කටයුතු කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ මහා විහාර සංවර්ධන සැලැස්ම සහ අනුරාධපුර පූජාභූමි සංවර්ධන සැලැස්ම පිළිබඳ අනුරාධපුර බෝමළු විහාරයේ ඊයේ (23) පස්වරුවේ පැවති සාකච්ඡාවට එක්වෙමිනි.
නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක හා අටමස්ථානාධිපති ගෞරව ශාස්ත්‍රවේදී අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්විණි.
ලෝකයේ රටවල් අද තම අතීත ශිෂ්ටාචාරය ඉස්මතු කරමින් ඉදිරියට යන විට අභිමානවත් ශිෂ්ටාචාරයකට සහ ඉතිහාසයකට හිමිකම් කියන අප ඒ පිළිබඳ නිසි අවධානයක් යොමු නොකිරීම කණගාටුදායක බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.
මහා විහාර සංකීර්ණයේ සීමාවන් හඳුනා ගැනීම සහ කැණීම් කටයුතුවල ප්‍රගතිය පිළිබඳ නිලධාරීන්ගෙන් කරුණු විමසූ ජනාධිපතිවරයා මහා විහාරයේ කැණීම් කටයුතුවල හා අනුරාධපුර පුජා භූමි සංවර්ධන කටයුතුවල යොදවා ඇති පුරාවිද්‍යා නිලධාරීන්ගේ සංඛ්‍යාව, එම සංයුතිය සහ වෙන්කර ඇති ප්‍රතිපාදන පිළිබඳව ද විමසා බැලීය.
එම කටයුතු පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි බවත්, අඩු පාඩු කඩිනමින් නිවැරදි කර ගනිමින් මහා විහාර සංවර්ධන සැලැස්ම විධිමත්ව ක්‍රියාවට නැංවීමේ අවශ්‍යතාවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.
එසේම අනුරාධපුර ඓතිහාසික උරුමය සුරැකීමට ඊට ආවේණික නව නීති පද්ධතියක් ගෙන ඒමට අපේක්ෂා කරන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය:
අප සියලු දෙනා එකට වාඩි වී මේ පිළිබඳ සාකච්ඡා කළ යුතු නිසා සෙනසුරාදා දිනයේදී මෙම සාකච්ඡාව කැඳවීම පිළිබඳ මම පළමුව සියලු දෙනාගෙන් සමාව ඉල්ලනවා. අපේ උරුමයන් ලෙස සීගිරිය සහ අනුරාධපුරය සැලකිය හැකියි. සීගිරිය අපේ දක්ෂතාවක් වන අතර, අපගේ ශිෂ්ටාචාරය තිබෙන්නේ මෙම අනුරාධපුර නගරය තුළයි. මහා විහාරය එහි ප්‍රමුඛත්වයක් ගනු ලබනවා. මහා විහාරය තමයි පාලි ධර්මයේ මූලස්ථානය. මෙවර මාගේ ඉන්දියානු සංචාරයේදී මෝදි අග්‍රාමාත්‍යවරයාට පිළිගැන්වුයේ ත්‍රිපිටකයේ ඉංග්‍රීසි පිටපතක්.
මේ මහා විහාර සංවර්ධන සැලැස්ම මුල් කරගෙන අනුරාධපුර පූජා භූමියේ අනෙකුත් සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කළ යුතුයි. අනුරාධපුර පූජා භූමියේ සංවර්ධන කටයුතු ආරම්භ වූයේ 1947 බණ්ඩාරනායක මැතිතුමාගේ සමයේදියි. නමුත් අද වන තෙක් මෙය සාර්ථකව අවසන් කිරීමට අප සමත්වී නැහැ.
නමුත් ඉන්දියාව නාලන්දා විශ්වවිද්‍යාලයේ ඉදිකිරීම් ආරම්භ කළේ 90 දශකයේදීයි. අද නාලන්දා විශ්වවිද්‍යාලය ප්‍රධාන ස්ථානයක් ලෙස ගොඩනඟා තිබෙනවා. රටවල් ගණනාවක් ඊට දායක වුණා. මුස්ලිම් රටක් වූ පාකිස්ථානයත් තක්ෂිලාව එලෙස ගොඩනැඟුවා. ශ්‍රී ලංකාව බෞද්ධ රටක් වුවත් මහා විහාරයේ වැඩකටයුතු අවසන් කිරීමට අපට හැකි වී නැහැ. අප කවුරුත් ඒ පිළිබඳව ලැජ්ජා විය යුතුයි.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මට ලිපි එවනවා පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂා කර දෙන්න කියලා. අපි ඒ සඳහා සූදානම්. නමුත් මෙම මහා විහාරයේ මූලික වැඩකටයුතු අප මතක තබා ගත යුතුයි. නව නගරයක් ඉදිකිරීම ඕනෑම අවස්ථාවක කළ හැකියි. එහි ගැටලුවක් නැහැ. නමුත් මේ මහා විහාරයේ කැණීම් කටයුතු මූලික කර ගෙන අප ඉදිරියට යා යුතුයි. අටමස්ථානයේ මහා සංඝරත්නය අනුශාසනා මත මෙම කටයුතු ඉදිරියට ගෙන යා යුතුයි.
අනුරාධපුරයට බලපාන පරිදි නව නීතියක් සකස් කළ යුතුයි. ඒ වගේම අදාළ නිලධාරීන් සමඟ මේ වැඩකටයුතු ඉදිරියට ගෙන යෑමට කමිටුවක් පත් කිරීමට අපේක්ෂා කරනවා. දෙපාර්තමේන්තු, සංස්ථා තිබුණත් මෙම කටයුත්ත භාරව එක් පරිපාලන නිලධාරියෙක් නැහැ. ඒ පිළිබඳවද අපේ අවධානය යොමු විය යුතුයි.
මෙම ව්‍යාපෘතිය අපි දැන් ආරම්භ කළොත් ඉදිරි වසර 10දී යම් ප්‍රගතියක් අත්පත් කර ගන්න පුළුවන් වුවත්, මෙය සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට අඩුම තරමින් වසර 25ක්වත් ගත වෙනවා. මෙම කටයුතු ආරම්භ කළ විට ශ්‍රී ලංකාව පුරාවිද්‍යා කේන්ද්‍රස්ථානයක් බවට පත්වෙනවා. එවිට මේ ගැන සොයා බලන්න අනිත් අය ඉදිරිපත් වෙනවා.
ඒ වගේම සිංහල ශිෂ්ඨාචාරය ආරම්භ වූයේ මල්වතු ඔයෙන්. මල්වතු ඔය ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පෙර ඊළඟ වසර දෙක තුළ මේ මහා විහාරයේ කැණිම් සිදු කළ යුතුයි. ඒ සදහා අවශ්‍ය නම් විශ්‍රාම ගිය පුරාවිද්‍යා නිලධාරීන් සම්බන්ධ කර ගන්න පුළුවන්. මේවා එකිනෙකට සම්බන්ධ ව්‍යපෘති. ඒ අනුව අප ඉදිරියට යා යුතුයි.
සේනක බණ්ඩාරනායක, රෝලන්ඩ් සිල්වා, ශිරාන් දැරණියගල යන කිහිප දෙනෙකු සමඟ අප සාර්ථකව සීගිරිය ව්‍යාපෘතිය නිම කර තිබෙනවා. අප එලෙස අනුරාධපුර පූජා නගරය සංවර්ධනය කළ යුතුයි. පැරිස් නුවරට ගිය අවස්ථාවේ මම ඒ පිළිබඳව යුනෙස්කෝ සංවිධානය සමඟ ද සාකච්ඡා කළා.
ඒ වගේම රජරට විශ්වවිද්‍යාලය මීට සම්බන්ධ කළ හැකියි. සංචාරකයන් දින කිහිපයක් මෙහි රඳවාගත හැකි අයුරින් මෙම ප්‍රදේශය දියුණු කළ යුතුයි. ඒ නිසා මෙම වැඩසටහනට ප්‍රමුඛත්වය ලබාදී ඉදිරියට ගෙන යා යුතුයි. මෙය ආරම්භ කළ විට එම කටයුතු ඉදිරියට ගෙන යෑමට ජාත්‍යන්තරයේ සහාය අපට ලැබෙනවා.
අනුරාධපුරය ඓතිහාසික නගරයක්. අනිත් රටවල් තම රටවල අතීතය ඉදිරියට ගෙන එනවා. අපි ඒ පිළිබඳව අවධානය යොමු කරලා නැහැ. අද දිඹුලාගල කැණිම් කටයුතු සිදු කළා නම් තායිලන්තයෙන්, කාම්බෝජියාවෙන්, වියට්නාමයෙන්, ලාඕසයෙන් සංචාරකයන් එනවා එම ස්ථානය නරඹන්න. දැන් අප මුලින්ම අනුරාධපුර වැඩකටයුතු නිමා කරමු.
අපේ ඉතිහාසය හා ශිෂ්ටාචාරය පිළිබඳ අප ආඩම්බර විය යුතුයි. අපිට අපේ ඉතිහාසය ලෝකයට ප්‍රදර්ශනය කරන්න අවශ්‍යයි. එනිසා අපේ උරුමය දියුණු කර ගත්තොත් අපට සංචාරක ව්‍යාපාරයෙන් ඉහළ ප්‍රතිලාභයක් ලබා ගන්න පුළුවන් වෙනවා.
මෙහි රජරට ශිෂ්ටාචාරය කියලා වෙනම ප්‍රදර්ශනාගාරයක් ඇති කිරීමට අප බලාපොරොත්තු වෙනවා. බෞද්ධ ශිෂ්ටාචාරය පිළිබඳවත් වෙනම ස්ථානයක් ඇති කළ යුතුයි. ඉන්දීය අගමැතිවරයා මා සමඟ කුසිනාරාව, සාංචි නිර්මාණය කළ ආකාරය පිළිබඳව සාකච්ඡා කළා. බෞද්ධ සංචාරකයන් ගෙන්වා ගැනීමට හින්දු රටේ එවැනි ස්ථාන ඉදිකර තිබෙනවා. නමුත් අපි අද එහෙම තත්ත්වයකට පත්වෙලා නැහැ.
ඒ වගේම මහ විහාර විශ්වවිද්‍යාලයක් ඇති කිරීමට දැන් අප සාකච්ඡා කරමින් සිටිනවා. පැරණි පිරිවෙන් අධ්‍යාපනය අනුව ගැඹුරු ලෙස එම කටයුතු පවත්වාගෙන යාමට බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා ස්ථානයක් හඳුනාගත යුතුව තිබෙනවා. මෙම කටයුතු මඟින් ඓතිහාසික අනුරාධපුර පුරවරයට විශේෂ අවධානයක් ලැබෙනවා.