― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeNewsPoliticalරනිල් රට බංකොලොත් වෙන්න නොදී රටේ වගකීම කරට ගත්තා

රනිල් රට බංකොලොත් වෙන්න නොදී රටේ වගකීම කරට ගත්තා

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා රට බංකොලොත් රටක් බවට පත්වීමට ඉඩ නොදී, මිනිස්සු පෝලිම්වල මැරිලා වැටෙන රටක් බවට පත්වෙන්න නොදී රටේ වගකීම කරට ගත් බවත් තමන් ඇතුළු මැති ඇමතිවරුන් එම වගකීමට අපි කර තිබ්බේ තමන්ගේ දේශපාලන අනාගතය ගැන සිතා නොවන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පැවසීය.

හෙතෙම මේ බව සඳහන් කළේ බේරුවල එක්සත් ජාතික පක්ෂ ආසන බල මණ්ඩල රැස්වීමේදී අදහස් දක්වමිනි.

“ආර්ථික වශයෙන් රට ජයගෙන, 2048දී දියුණු රටක් බවට මේ රට පත් කරන ගමන තමයි අපි මේ යන්නේ. රට තිබුණ තත්වයට නැවත අරගෙන එන්න යම්කිසි කාලයක් ගතවේවි කියලා ජනාධිපතිතුමා කිව්වා. මාස දෙක තුනක් යන විට විදුලි කප්පාදුව සම්පූර්ණයෙන්ම නතර කරන්න, තෙල් ප්‍රශ්ණයට විසදුම් දෙන්න අපට පුලුවන්කම ලැබුණා. ආර්ථිකය තිබුණට වඩා හොද තත්වයකට අරගෙන ඇවිත් තියෙනවා. උද්ධමනය අඩු කරන්න පුලුවන් කම ලැබුණා. උද්ධමනය අඩුවුනා කියලා කිව්වට තවම බඩුමිල අඩුවුනේ නෑනේ කියලා සමහරු කියනවා. උද්ධමනය අඩුවෙනවා කියලා කියන්නේ බඩු මිල වැඩිවීමේ වේගය අඩු කළා කියන එක.

ලබන මාසය, ඊළග මාසය වන විට බැංකු පොලී අනුපාතය සියයට 9 කට 12කට අඩු වෙන්න පුලුවන්. පොලී ගන්න බැංකු ඇතුලේ තියාගෙන හිටපු මුදල් දැන් එළියට අරගෙන ඒවි. ලබන අවුරුද්දේ ජනවාරි, පෙබරවාරි වන විට 2018අවසානයේදී තිබුණ තත්වයකට ආර්ථිකය අරගෙන එන්න පුලුවන් වේවි. ආර්ථිකය ගොඩ ගන්න මේ ආණ්ඩුව ගන්න කියලා සජිත් ප්‍රේමදාසට කිව්වා. අනුර කුමාර දිසානායකට කිව්වා. ජනාධිපතිකමයි, අගමැතිකමයි, කැබිනට් එකයි දෙනවා නම් මාස හයෙන් මේ තත්ත්වයට ගොඩ දා දෙන්නම් කිව්වා. එතකොට එහෙනම් අරගන්න කියලා අපි කිව්වා. එතකොට මේ තියෙන තත්වය යටතේ අපිට ගන්න බෑ, අමාරු තත්වයක් කිව්වා. සජිත් ප්‍රේමදාසට මේක ගන්න කියලා කිව්වා. කෑ ගහලා කිව්වා.

ලියුම් ගහලා කිව්වා. මේක අමාරු වැඩක්. මේක කරගන්න බැරිවුනොත් මගේ දේශපාලන ඉවරයි කියලා තමයි ඔහු කිව්වේ. ඔය නායකයින් කියාගන්න හැමෝම එහෙම තමයි වැඩ කළේ. මිනිස්සු අමාරුවේ වැටිලා ඉන්න වෙලාවේ රට භාරගන්න කියලා කිව්වම අපේ දේශපාලන අනාගතය විනාස කරගන්න බෑ කියලා තමයි කිව්වේ. ඒ වගේ වෙලාවක තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා, තමන්ගේ දේශපාලන අනාගතය ගැන හිතන්නේ නැතිව, තමන්ගේ දේශපාලන පක්ෂය ගැන හිතන්නේ නැතිව මිනිස්සුන්ගේ ජීවිත වැදගත් කියලා තීන්දුවක් ගත්තා.

රට බංකොලොත් රටක් බවට පත්වෙලා, ගහ මරාගන්නා ත්‍රස්තවාදි කල්ලි අතට බලය යන, මිනිස්සු පෝලිම්වල මැරිලා වැටෙන රටක් බවට පත්වෙන්න නොදීමේ තීන්දුව ගත්තා. රටේ වගකීම එතුමා භාරගත්තා. ඒ වගකීමට අපි කර තිව්වේ අපේ දේශපාලන අනාගතය ගැන හිතලා නෙමෙයි. හරින් ප්‍රනාන්දු ඇමැතිතුමත් මමත් ඒ වගකීම් භාරගත්තේ නැවත හෙට දවසේ අපි පාර්ලිමේන්තුවට යාවිද, හෙට දවසේ අපේ ජීවිත බේරිලා තියේවිද කියන දේ අමතක කරලා.

අපි ඒ තීන්දුව ගත්තේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා කෙරෙහි තිබෙන විශ්වාසය නිසා. එතුමා අද වැඩ කරලා පෙන්නලා තියෙනවා. කටින් පච කෙලින නායකයෙක් නෙමෙයි. කරන්න පුලුවන් දේ කියලා, කරලා පෙන්වන නායකයෙක්. කරන්න බැරි දේ කරන්න බැහැ කියලා කියන නායකයෙක්.

දැන් ජනතා විමුක්ති පෙරමුණ ලොකුවට රැල්ලක් තිබුණා. ඒ පුස් රැල්ල දැන් බිදිලා, ඒ ශෝ එක ඉවරයි. අපි දැන් රට ගොඩ නගමින් ඉන්න වෙලාවේ ෆේස් බුක් එකේ මල්ලිලා, හා කමක් නෑ…අපි මාලිමාවට කියලා කියනවා. අපි කම්කරු නීති වෙනස් කරන්න යන විට හරිනි අමසූරියලා කියන්නේ අයි.එම්.එෆ්. එකේ උවමනාවට ඒවා වෙනස් කරනවා කියලයි.

එතකොටත් ෆේස් බුක් එකේ මල්ලිලා,ඒත් කමක් නෑ..අපි මාලිමාවට කියලා කියනවා. හරිනිලා තමන්ගේ දේශපාලනික නිරුවත ප්‍රදර්ශනය කරමින් ඉන්නවා. නූතවාදීව හිතන, කාන්තා නිදහස, සියලුම ජාතීන්ගේ නිදහස ගැන කතා කරනවා කියලා පෙන්නුවට අද ඊට හාත්පසින් වෙනස් දේවල් කියමින් ඉන්නවා. කාන්තාවන්ගේ ආරක්ෂාව වෙනුවෙන්කම්කරු නීති අරගෙන ආවට පස්සේ ඒවා ඇතුලේ මොනවා හරි හොරයක් තියෙනවා කියලා කියනවා. දේශපාලන කුහකම, ජනතා විමුක්ති පෙරමුණේ තියෙන වෛරී දේශපාලනය හරිනිලාගෙන් පේන්න අරගෙන තියෙනවා.

මේ මොනව වුනත් හා කමක් නෑ අපි මාලිමාවට කියලා ෆේස් බුක් එකේ මල්ලිලා කියනවා. ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිති ලොක්කෙක් ඇවිත් සැහැල්ලු දුම්රිය එක පැත්තකට විතරයි දුවන්නේ කියලා කිව්වා. මේ කියන්නේ බොරු කියලා උගත්තු ඇවිත් කරුණු පැහැදිළි කළා. ඒත් ෆේස් බුක් එකේ මල්ලිලා කියන්නේ කමක් නෑ.. අපි මාලිමාවට කියලයි

මෙන්න මේ බුද්ධි මට්ටම, මේ දැනුම් මට්ටම නිවරදි කරගන්න ඕන.

අපි මේ ගමන යන විට ජනතා විමුක්ති පෙරමුණේ කණ්ඩායම්වලට, සජිත් ප්‍රේමදාස මහත්තයාගේ කණ්ඩායම්වලට, පොහොට්ටුවේ කණ්ඩායම්වලට, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම්වලට අපි ආරාධනා කරනවා. මේ ගමන අපි ඉස්සරට යන්න ඕන. සියලු දෙනාම එකට එකතු කරගන්න ඕන වෙලාවක් මේක. ඒ නිසා එකට එකතුවෙලා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා එක්ක මේ ගමන යන්න කියලා අපි ප්‍රසිද්ධියේ ආරාධනා කරලා තියෙනවා. හැබැයි සමහරු තම තමන්ගේ අනාගත සිහිනය බොදවෙයි කියන බයේ ඉන්න අනුර කුමාර දිසානායකලා, සජිත් ප්‍රේමදාසලා දේශපාලන බංකොලොත්භාවයට පත්වෙමින් තිබෙනවා. පක්ෂ ඇතුලේ ඉන්න කණ්ඩායම් දැන් එහෙන් මෙහෙන් ගැලවෙමින් ඉන්නවා.

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු රනිල් වික්‍රමසිංහ මහත්තයා එන්න කියන්නේ කවදාද කියලා බලාගෙන ඉන්නවා. මේ වන පිට පක්ෂය ඇතුලේ හිටපු මාධ්‍ය කණ්ඩායම්ද, මාධ්‍ය ලේකම්ලාද ගැලවිලා ඉවරයි. තව ටික දවසක් යන විට තවත් අය ගැලවිලා එනවා.

සජිත් ප්‍රේමදාස මහත්තයාට බෝට්ටු තල්ලු කරන්න පුලුවන්. ක්‍රිකට් ගහන්න පුලුවන්. බස් එලවන්න පුලුවන්. හැබැයි රට පාලනය කරන්න බෑ. ඒ වගකීම ගන්න බෑ කියන එක පෙන්නලා ඉවරයි.

අද සමගි ජන බලවේගය ඒක්ක ඉන්න එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති තියෙන හැමෝටම ආරාධනා කරන්නේ අපිත් එක්ක එකතුවෙලා මේ ගමන යන්න එන්න කියලයි. සියලුදෙනාගේම ශක්තිය මේ වෙලාවේ අවශ්‍යයි. පාට පක්ෂ, ජාති ආගම් කුල භේධ අමතක කරලා අපි හැමෝම එකට මේ ගමන යන්න ඕන. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා නිර්දේශපාලන නාකයෙක් විදියට හැමෝම එක්ක එකතුවෙල වැඩ කරන්නේ ඔහුගේ පක්ෂය ගැන හිතලා නෙමෙයි. රටේ අනාගතය ගැන හිතලා.”