― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalනව නීති සම්මත කිරීමේ බලයක් මට නැහැ - ජනපති

නව නීති සම්මත කිරීමේ බලයක් මට නැහැ – ජනපති

නව නීති සම්මත කිරීමේ බලය තමාට පමණක් නොව මීට පෙර සිටි විධායක ජනාධිපතිවරුන් හත් දෙනාටද නොතිබූ බවත් පවතින ගැටලු විසඳා ගැනීම වෙනුවෙන් නව නීති සම්මත කිරීමේ බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවට වන අතර තමා සිදු කරන්නේ රට වෙනුවෙන් අදාළ යෝජනා ගෙන ඒම පමණක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයෙ (26) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සර්ව පාක්ෂික සමුළුව අමතමිනි.

පාර්ලිමේන්තුවේ එක් ඡන්දයක් පමණක් ඇති තමාට එම කාර්ය තනිව සිදු කළ නොහැකි බවත් මෙම කටයුතු ඉදිරියට ගෙන යාමට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුදෙනා සාමුහිකව කැපවී ක්‍රියා කළ යුතු බවත් ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේය.

පළාත් සභා නවයෙන් හතක්ම තිබෙන්නේ සිංහල ජනතාව වැඩි වශයෙන් ජීවත්වන ප්‍රදේශවල බව පෙන්වා දුන් ජනාධිපතිවරයා පළාත් සභා ක්‍රමය ඉදිරියට පවත්වාගෙන යාමට අපේක්ෂා කරනවා නම් මේ වනවිටත් අත්දැක ඇති අඩුපාඩු සකස් කළ යුතු බවයි සඳහන් කළේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනයෙහි දැක්වෙන ආකාරයට පළාත් සභා වෙත පොලිස් බලතල ලබාදීම සම්බන්ධව සියලු පාර්ශ්ව එක්ව සාකච්ඡා කර තීන්දුවක් ගත යුතු බවද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේය.

පළාත් සභා මන්ත්‍රීවරුන්ට එම ධූරය තබාගෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත්වීමේ අවස්ථාව සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එම මන්ත්‍රී ධූරය තබාගෙන පළාත් සභා මන්ත්‍රීවරයකු ලෙස පත්වීමට හැකියාව ලැබෙන ආකාරයට කටයුතු සකස් කරන ලෙස යෝජනා වී ඇති බවත් ඒ පිළිබඳවද සාකච්ඡා කර තීන්දුවක් ගත හැකි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ජාතික සංහිඳියා වැඩසටහන සහ උතුර- නැගෙනහිර සංවර්ධන සැලැස්ම පිළිබඳ පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයින් දැනුවත් කිරීම සඳහා මෙම සර්ව පාක්ෂික සමුළුව කැඳවා තිබිණි.