― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsජම්බෝරියට යන බාලදක්ෂයින් ජනපති හමුවෙයි

ජම්බෝරියට යන බාලදක්ෂයින් ජනපති හමුවෙයි

දකුණු කොරියාවේ පැවැත්වෙන 25 වන ලෝක බාලදක්ෂ ජම්බෝරිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමට නිල වශයෙන් ජාතික ධජය පිළිගැන්වීම ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතින් අද (28) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු කෙරුණා.

එමෙන්ම 2024 වසරේ පැවැත්වීමට නියමිත 10වන ජාතික බාලදක්ෂ ජම්බෝරියේ නිල ලාංඡනය එළිදැක්වීමද මෙහිදී සිදු වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

25 වන ලෝක බාලදක්ෂ ජම්බෝරිය අගෝස්තු 01 වැනිදා සිට 12 වැනි4දා දක්වා දකුණු කොරියාවේ Saemangeum හිදී ලොව පුරා බාලදක්ෂ බාලදක්ෂිකාවන් 50,000කගේ සහභාගිත්වයෙන් උත්කර්ෂවත්ව පැවැත්වීමට නියමිත අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් බාලදක්ෂ බාලදක්ෂිකාවන් හා නායක නායිකාවන් 177 දෙනෙකු පමණ ඊට එක්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා බාලදක්ෂ කණ්ඩායමට මෙහිදී සිය සුබපැතුම් එක් කළ ජනාධිපතිවරයා සඳහන් කළේ 2048 වන විට ශ්‍රී ලංකාවද දකුණු කොරියාව වැනි දියුණු රටක් බවට පත් කිරීම රජයේ අරමුණ බවත් මෙම සංචාරයේ දී ලබන අත්දැකීම් රටේ අනාගතය වෙනුවෙන්ද දායක කර ගැනීමට සියලුදෙනා ක්‍රියා කළයුතු බවයි.

ආත්ම විශ්වාසයෙන් යුතු සහ අභියෝගවලට මුහුණදිය හැකි ශක්තිමත් අනාගත පරපුරක් ගොඩනැඟීමට බාලදක්ෂ ව්‍යාපාරයෙන් ලැබෙන දායකත්වය අගය කළ ජනාධිපතිවරයා එම පුහුණුව රටේ අනාගතය වෙනුවෙන් ඵලදායීව යොදාගන්නා ලෙස ද බාලදක්ෂ බාලදක්ෂිකාවන්ගෙන් ඉල්ලා සිටියා.

ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ ශ්‍රී ලංකාවේ බාලදක්ෂ ව්‍යාපාරය පුළුල් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබාදුන් උපදෙස් අනුව මෙරට බාලදක්ෂ ව්‍යාපාරයේ සාමාජික සංඛ්‍යාව ලක්ෂයක ඉලක්කය පසුගියදා සම්පූර්ණ කළ බවයි.

මෙහිදී ශ්‍රී ලංකා බාලදක්ෂ කණ්ඩායමේ නායක, ජාත්‍යන්තර කොමසාරිස්, විශේෂඥ වෛද්‍ය රජීව් පීරිස් මහතා වෙත ජාතික ධජය පිරිනැමුණු අතර ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ සභාපති ශ්‍රීනාත් ගුණරත්න, විධායක කමිටු සභාපති රත්නසිරි පෙරේරා යන මහත්වරු ඇතුළු සංගමයේ කොමසාරිස්වරු හා නිලධාරීන් රැසක් ඊට එක්ව සිටියා.