― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalමුතුරාජා හස්තියා නැවත තායිලන්තයට ගෙන යාම සම්බන්ධයෙන් ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය

මුතුරාජා හස්තියා නැවත තායිලන්තයට ගෙන යාම සම්බන්ධයෙන් ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය

මෙරටට පරිත්‍යාගයක් ලෙස ලැබුණු මුතුරාජා හස්තියා නැවත තායිලන්තයට ගෙන යාම නිසා ලංකාවට දෙස් විදෙස්හි වශයෙන් ලැබුණු අප්‍රසාදය සම්බන්ධයෙන් පරිසරය, ස්වාභාවික සම්පත් සහ තිරසාර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී පසුගියදා අවධානය යොමු විය.

මෙම හස්තියා නැවත තායිලන්තයට ගෙන ගියේ කොන්දේසි සහිතව ද යන්න සහ ‍එයට හේතු වු කරුණු පිළිබඳව කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු අජිත් මාන්නප්පෙරුම මහතා විසින් අමාත්‍යාංශ ලේකම්වරියගෙන් කරුණු විමසා සිටින ලදී.

වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍යාංශයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව, සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ සහ රාජ්‍ය දැව සංස්ථාවේ වාර්ෂික වාර්තා සලකා බැලීම සඳහා වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු අදාල ආයනවල අධ්‍යක්ෂ ජනරාල්වරුන්ගේ ද සහභාගීත්වයෙන් මෙම කාරක සභාව පසුගියදා (18) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳව සාකච්ඡා විය.

එහිදී අනාවරණය වු ආකාරයට 2001 වර්ෂයේදී තායිලන්ත රජයේ පරිත්‍යාගයක් ලෙස ශ්‍රී ලංකාවට ලැබුණු මුතුරාජා හස්තියා සන්නස් පත්‍රයක් මඟින් අළුත්ගම කන්දේ විහාරයට පෞද්ගලික පරිහරණය සඳහා ලබා දී ඇත. මෙම හස්තියා වන සත්ව හා වෘක්ෂලතා පනත යටතේ හීලෑ ඇතෙකු ලෙස වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අංක 178 ගොනුව යටතේ යටතේ ලියාපදිංචි කර ඇති අතර ඉන්පසුව පෞද්ගලික දේපලක් ලෙස සලකා ඇති බැවින් ඉන්පසු මෙම කරුණ සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ සහ වනජීවී දෙපාර්තමේන්තුවේ පාලනයෙන් බැහැරව ඇත.

මෙම ඇතා බලා ගැනීමේ දී සිදු වී ඇති අඩුපාඩු හේතුවෙන් ඇතාගේ සෞඛ්‍ය පිරිහී ඇති බවත්, ඒ මත පදනම්ව තායිලන්තයේ රාජ්‍ය නොවන සංවිධාන, සමාජ මාධ්‍ය නැවත ඇතා තායිලන්තයට ගෙන්වා ගන්නා ලෙස එරට රජයෙන් සහ මෙරට සිටින තායිලන්ත තානාපතිගෙන් ඉල්ලා ඇත. ඒ අනුව, විදේශ කටයුතු අමාත්‍යාංශය සහ තායිලන්ත තානාපතිගෙන් ලද ඉල්ලීම්වලට අනුව මේ සඳහා ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව මැදිහත් වු අතර ඇතා නැවත තායිලන්තයට ගෙන යන තුරු මුලික ප්‍රතිකාර කටයුතු ලෙස ඇතාගේ කකුල්වල පිටුපස තිබු තුවාලවලට ප්‍රතිකාර කර 90% වඩා සුව කරන ලදී. නමුත් ඇතාගේ ඉදිරිපස කකුල්වල ඇති තුවාල සුව වීමට කාලයක් ගත වන අතර මෙරටට වඩා තායිලන්තයේ ඇතාට ප්‍රතිකාර කිරීම සඳහා පහසුකම් ඇති බැවින් නැවතත් සුව වු පසු ඇතා කන්දේ විහාරයට භාරදෙන බවට එහි නායක හාමුදුරුවන්ට පොරොන්දු වී තායිලන්ත රජය විසින් රුපියල් මිලියන 220ක පමණ මුදලක් වැයකර වෙනම ගුවන්යානයකින් නැවත ඇතා තායිලන්තයට ගෙන යන ලදී.

නමුත් තායිලන්තයේ පරිසර අමාත්‍යවරයා මුතුරාජා හස්තියා යළිත් මෙරටට ලබා නොදෙන බව පැවසීමෙන් ශ්‍රී ලංකාව කෙරෙහි ජාත්‍යන්තර වශයෙන් අපකීර්තියක් මේ සිදු වීම තුළින් ඇති වු බැවින් මේ සම්බන්ධයෙන් සැබෑ ලෙසම වගකිව යුතු රජයේ ආයතනය පිළිබඳව කාරක සභාව විමසා සිටින ලදී. මෙහිදී වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරිය පවසා සිටින ලද්දේ ඇතා පෞද්ගලික පරිහරණයට විහාරස්ථානයකට ලබාදී ඇති බැවින් ඇතාගේ වගකීම ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ සහ වනජීවී දෙපාර්තමේන්තුවේ වගකීමෙන් බැහැරවන බවය. විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ලද දැනුම් දීමට අනුව ඇතා ආපසු රැගෙන යාමට අවශ්‍ය පහසුකම් පමණක් තම අමාත්‍යාංශය සලසා දුන් බවය. එසේ වුවද, කාරක සභාවේ සභාපති පවසා සිටියේ අලි ඇතුන් බැලීමට විදේශවල සිට සංචාරකයින් පවා පැමිණෙන, අලි ඇතුන් සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලන අපරටට පරිත්‍යාගයක් ලෙස ලැබුණු ඇතා බලා ගැනීමට අපහසු වීම ගැටළුවක් බවය. මෙහිදී බලධාරීන් පවසා සිටියේ ඇතාට ප්‍රතිකාර කිරීම සඳහා පශු වෛද්‍යවරුන්ගේ සහාය නිසි ලෙස ලබාගෙන ඒ සඳහා පහසුකම් සැලසීමට හැකියාව තිබුණද, තායිලන්ත රජයේ සහ එරට වැසියන්ගේ දැඩි බලපෑම මත ඇතා නැවත තායිලන්තයට ගෙන යාමට සිදු වු බවය.

බලංගොඩ ප්‍රදේශයේ අලිවැට ඉදිකිරීමේදී මතු වී ඇති ගැටළු සම්බන්ධයෙන් ද කාරක සභාව සිය අවධානය යොමු කරන ලදී. දෙහිවල සත්වෝද්‍යානය තුළ අධික මිල ගණන්වලට පානීය ජල බෝතල් ඇතුළු පාරිභෝගික භාණ්ඩ අලෙවි කිරීම සම්බන්ධයෙන් යම් නියාමනයක් සිදු කළ යුතු බවත්, එහි සමනල උද්‍යානය සංචාරකයින් සඳහා වසර ගණනාවක සිට විවෘත නොවීම යනාදී කරුණු ද සලකා බලන ලදී.

මෙම අවස්ථාව සඳහා කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු අජිත් මාන්නප්පෙරුම මහතා සහ අනෙකුත් කාරක සභා සාමාජිකයන් වන ගරු අකිල එල්ලාවල මහතා, ගරු වරුණ ලියනගේ මහතා ද සහභාගී වුහ.