― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsඅභියාචනාධිකරණයෙන් පොලිස්පතිට නොතීසි

අභියාචනාධිකරණයෙන් පොලිස්පතිට නොතීසි

පසුගිය වසරේ මැයි මස 09 වනදා ගාලු මුවදොර ගෝඨා ගෝ ගම අරගල භූමියේ ඇතිවූ ගැටුම්කාරී සිද්ධියෙන් පසුව දිවයින පුරා ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියා පාලනය කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා ඇතුළු ඊට වගකිව යුතු නිලධාරීන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස නීතිපතිවරයා වෙත රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කෙරුණු පෙත්සමක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අවසර ලබා දී තිබෙනවා.

මෙම පෙත්සම තුළින් ඉදිරිපත් කළ කරුණු පිරික්සීමේ දී ඊට පොලිස්පතිවරයා ඇතුළු පොලිස් දෙපාර්තමේන්තුව වගකිවයුතු යැයි පෙනී යන හෙයින්ම පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන බව සඳහන් කළ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඒ අනුව සැප්තැම්බර් මස 27 වනදා මීට අදාළව අධිකරණය හමුවේ කරුණු දක්වන්නැයි දන්වා පොලිස්පතිවරයා, නීතිපතිවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරනු ලැබුවා.

අරගල ක්‍රියාකාරිකයෙකු වන ජනත්.එස්. විතාරණ විසින් ඉදිරිපත් කළ පෙත්සමක් මූලික වශයෙන් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන විනිසුරුවරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසිනුයි මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.

පෙත්සම්කරු කියා සිටින්නේ ඉකුත් වසරේ මැයි මස නව වනදා ගාලු මුවදොර ගෝඨා ගෝ ගම අරගල භූමියේ ඇති වූ ගැටුම්කාරී සිද්ධියෙන් අනතුරුව දිවයින පුරා ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියා පාලනය කිරීමට පොලිස්පතිවරයා ඇතුළු පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අසමත් වූ බවයි.

මෙම සිද්ධීන් පාලනය කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා ඊට වගකිව යුතු බවට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් නිර්දේශයක් නිකුත් කර තිබෙන බවත් පෙත්සම්කරු ප්‍රකාශ කර සිටිනවා.

ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන නඩු විභාගයේ දී පොලිස්පතිවරයා ඇතුළු මෙම සිද්ධියට වගකිවයුතු සියලු පොලිස් නිලධාරීන් වගඋත්තරකරුවන් ලෙස නම් කරන මෙන් නීතිපතිවරයා වෙත නියෝගයක් නිකුත් වන ලෙසත් පෙත්සම්කරු අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටිනවා.

ඊට අමතරව මෙම සිද්ධිය සම්බන්ධයෙන් වගකිවයුතු පොලිස්පතිවරයා ඇතුළු ඊට අදාළ නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජාතික පොලිස් කොමිසම වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු අභියාචනාධිකරණයෙන් වැඩිදුර ඉල්ලා ඇති බව සඳහන්.