― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsහොර වීසාවලින් ඉතාලි පනින්න ගිය යුවළක් අත්අඩංගුවට

හොර වීසාවලින් ඉතාලි පනින්න ගිය යුවළක් අත්අඩංගුවට

කූඨ ලේඛන භාවිතා කරමින් ඉතාලිය වෙත පැන යාමට තැත් කළ ශ්‍රී ලාංකික තරුණ යුවළක් කටුනායක ගුවන්තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් විසින් සැකකාර යුවළ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ පස්වරුවේයි. යාපනය, චන්කනායි ප්‍රදේශයේ පදිංචි මෙම යුවළ අතරින් තරුණයා 27 හැවිරිදි අයෙක් වන අතර තරුණිය 28 හැවිරිදි වියෙහි පසු වනවා.

ඔවුන් ඊයේ සවස 05ට අබුඩාබි බලා පිටත්ව යන එටිහාඩ් ගුවන් සේවයේ EY- 279 දරන ගුවන් යානයට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා. මොවුන් පිළිබඳ ඇති වූ සැකය මත ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකය වෙත කැඳවා, ඔවුන් රැගෙනවිත් තිබූ ගමන් මලු පරීක්ෂා කිරීමේදී ඒවා තුළ ව්‍යාජ තොරතුරු ඇතුළත් කර සකස් කළ ගුවන් ගමන් බලපත්‍ර දෙකක් සහ මෙම තරුණයාට අයත් ව්‍යාජ වීසා බලපත්‍රයක්ද සොයා ගෙන තිබෙනවා.

එහිදී තරුණියගේ වීසා බලපත්‍රය පිළිබඳව විමසූ විට ඇය නිහඬව සිටීම නිසා ශ්‍රී ලංකා ආගමන විගමන කාන්තා නිලධාරිනියක් කැඳවා තරුණියගේ සිරුර පරීක්ෂා කර ඇති අතර එහිදී ඇයගේ යට ඇඳුම තුළ සඟවා ගෙන තිබූ ව්‍යාජ ඉතාලි වීසා බලපත්‍රය සොයා ගෙන තිබුණා.

එලෙස සොයා ගත් ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර දෙකෙහි සැබෑ හිමිකරුවන් වූ පිටකෝට්ටේ ප්‍රදේශයේ පදිංචි යුවළද ඒ වනවිටත් ඔවුන්ගේ සත්‍ය ගුවන් ගමන් බලපත්‍ර සහ වීසා බලපත්‍ර උපයෝගී කර ගනිමින් මෙම ගුවන් යානය තුළ අසුන් ගෙන සිට තිබූ බවටයි අනාවරණ වී ඇත්තේ.

ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් මෙම යුවළ වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන්තොටුපොළ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දී තිබෙනවා.

පසුගිය වකවානුව තුළ උතුරු ප්‍රදේශයේ වයස අවුරුදු 20 ත් 30 අතර තරුණ පිරිස විශාල වශයෙන් මේ ආකාරයට ව්‍යාජ තොරතුරු ඇතුළත් කූඨ ලේඛන භාවිතා කරමින් යුරෝපය වෙත පැන යාමේ ප්‍රවනතාවයක් වර්ධනය වෙමින් පවතින බවටයි කටුනායක ගුවන්තොටුපොළ ආගමන විගමන නිලධාරීවරයෙකු සඳහන් කර ඇත්තේ.