― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeNewsPoliticalනව ආර්ථික ප්‍රතිපත්තියක් සදහා අවශ්‍ය යෝජනා නිර්දේශ කිරීමට කමිටුවක්

නව ආර්ථික ප්‍රතිපත්තියක් සදහා අවශ්‍ය යෝජනා නිර්දේශ කිරීමට කමිටුවක්

නව ආර්ථික ප්‍රතිපත්තියක් සදහා අවශ්‍ය යෝජනා නිර්දේශ කිරීම සදහා විශ්ව විද්‍යාල විද්වතුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට ආංශික අධීක්ෂණ කාරක සභාව තීරණය කරයි

රට තුළ ක්‍රියාත්මක කළ යුතු බදු ක්‍රමය සහ අනුගමනය කළ යුතු ආර්ථික ප්‍රතිපත්ති නිර්දේශ කිරීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රජාවගෙන් සමන්විත විද්වත් කමිටු පිහිටුවීමට ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී තීරණය විය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ගාමිණී වලේබොඩ මහතාගේ සභාපතීත්වයෙන් 2023.08.07 එම ආංශික අධීක්ෂණ කාරක සභාව රැස්වූ අවස්ථාවේදී මේ බව තීරණය විය.

රට මුහුණ දී ඇති ආර්ථික අවපාතයේ බලපෑම් සහ ඒවායින් ගොඩ ඒම සඳහා ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව සොයා බැලීම සඳහා පැවති මෙම කාරක සභා රැස්වීම සදහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති, විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්, ආර්ථික විද්‍යා හා කළමනාකරණ පීඨ පීඨාධිපතිවරුන්, මහාචාර්යවරුන්, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරුන්, රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන ප්‍රධානීන්, මහ බැංකු සහ භාණ්ඩාගාර නියෝජිතයන් කැඳවා තිබිණි.

රට තුළ විවිධ ප්‍රතිපත්ති සැලසුම් සකස් කළද තවමත් මූල්‍ය අංශයේ ජාතික ප්‍රතිපත්තිමය රාමුවක් නොමැති බවත් එය කඩිනමින් සකස් කිරීමේ අවශ්‍යතාවක් පවතින බවත් කමිටු සභාපතිවරයා අවධාරණය කළේය. රට මේ වන විට මුහුණ දී ඇති අර්බුදයෙන් ගොඩ ඒම සඳහා සුදුසු යෝජනා මෙම කාරක සභාව පාර්ලිමේන්තුව හරහා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවත් මෙම ක්‍රියාවලියේදී විශ්වවිද්‍යාල ප්‍රජාව ඇතුළු සියලු පාර්ශ්ව ඒකරාශී කර ගැනීමට කටයුතු කරන බවත් ඒ මහතා පැවැසීය.

කමිටු සභාපතිවරයා පෙන්වා දුන්නේ සති දෙකක් ඇතුළත විද්වත් කමිටුවක් පත් කර මේ පිළිබද පුළුල් ලෙස විමර්ශනය කර වාර්තාවක් සකස් කිරීමට බලාපොරොත්තු වන බවයි.

නිසි බදු ප්‍රතිපත්තියක් නොමැතිකම, රාජ්‍ය ආයතනවල අකාර්යක්ෂමතාව, කර්මාන්ත අංශයට සුදුසු වෘත්තීය අධ්‍යාපනයක් නොමැතිකම වැනි විවිධ ගැටලු මෙම තත්ත්වයට හේතුවී ඇති බව මෙහි පැමිණි විද්වත්හු පෙන්වා දුන්හ. ශ්‍රී ලංකාව තුළ අවශ්‍ය ප්‍රමාණයට වඩා ප්‍රතිපත්ති සැලසුම් සකස් කර ඇතත් ඒවා ක්‍රියාත්මක කිරීමේ අඩුපාඩුවක් පවතින බව ඔවුහු පැවසූහ.

මෙම රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු වාසුදේව නානායක්කාර, ගරු අනුර ප්‍රියදර්ශන යාපා, ගරු ආචාර්ය සරත් වීරසේකර, ගරු මොහොමඩ් මුසම්මිල්, ගරු මධුර විතානගේ, ගරු ගෙවිඳු කුමාරතුංග, ගරු සහන් ප්‍රදීප්, ගරු වසන්ත යාපා බණ්ඩාර යන මහත්වරු සහභාගී වූහ.