― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeNewsPoliticalශ්‍රී ලංකා - කියුබා ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමේ අවස්ථා පිළිබඳ අවධානය

ශ්‍රී ලංකා – කියුබා ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමේ අවස්ථා පිළිබඳ අවධානය

ශ්‍රී ලංකාව සහ කියුබාව අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ අවස්ථාවන් පිළිබඳව පසුගියදා (09) පාර්ලිමේන්තුවේදී පැවති ශ්‍රී ලංකා කියුබා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ රැස්වීමේදී අවධානය යොමු විය.

එම සංගමයේ විධායක කමිටු රැස්වීම සංගමයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (මහාචාර්ය) තිස්ස විතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳව සාකච්ඡා විය. ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්දේර්ස් මාකෙලෝ ගරිඩෝ (Andres Marcelo Garrido) මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියේය.

ශ්‍රී ලංකාව සහ කියුබාව දීර්ඝ කාලයක සිට සෑම අවස්ථාවකදීම එකිනෙකාට සහයෝගය දක්වමින් ජාත්‍යන්තර වශයෙන් මිත්‍ර රටවල් ලෙස කටයුතු කරන බවත් මෙම ප්‍රවණතාවය තවත් වැඩි කළ යුතු බවත් බව ගරු (මහාචාර්ය) තිස්ස විතාරණ මහතා මෙහිදී පැවසීය. ශ්‍රී ලංකාවේ විවිධ පළාත්වල ශ්‍රී ලංකා කියුබා මිත්‍රත්ව සංවිධාන ආරම්භ කිරීමෙන් ශ්‍රී ලංකාවාසීන්ට කියුබාව පිළිබඳ දැනගැනීමට එය අවස්ථාවක් වනු ඇතැයි ද ඔහු පැවසීය. ඒ අනුව ශ්‍රී ලංකා කියුබා මිත්‍රත්ව සංවිධාන තම ප්‍රදේශවල ආරම්භ කිරීමට ඉදිරිපත් වන ලෙස ඔහු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ විධායක කමිටු සාමාජිකයින්ට ආරාධනා කළේය.

මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්දේර්ස් මාකෙලෝ ගරිඩෝ මහතා, කියුබානු – ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය පසුගියදා කියුබානු පාර්ලිමේන්තුවේදී ආරම්භ කළ බවත් දෙරට අතර සබඳතා ශක්තිමත් කර ගැනීමට එහි සාමාජිකයන් උනන්දු වන බවත් පැවසීය. එමෙන්ම කියුබාව මුහුණ දුන් විවිධ අභියෝගවලදී ශ්‍රී ලංකාව ලබාදුන් සහයෝගිතාව පිළිබඳව ද ඔහු කෘතඥතාව පළ කළේය. එසේම දෙරට අතර ක්‍රීඩා, වෙළෙඳ ආදී ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික සබඳතා වැඩිදියුණු කර ගැනීමට අවස්ථා පවතින බව පැවසූ කියුබානු තානාපතිවරයා නොවැම්බර් මස මුලදී පැවැත්වෙන හවානා ජාත්‍යන්තර ප්‍රදර්ශනයට සහභාගි වන ලෙස ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන්ට ආරාධනා කළේය.

මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය ගරු (ආචාර්ය) සුරේන් රාඝවන් මහතා සඳහන් කළේ, කියුබානු රජය සමඟ එක්ව ශ්‍රී ලංකාව තුළ වෛද්‍ය විද්‍යාලයක් ආරම්භ කිරීමේ හැකියාව පවතින බවත්, මේ සඳහා වන සංකල්ප පත්‍රිකාවක් මේ වන විටත් සකස් කර අවසන් බවත් එය මිත්‍රත්ව සංගමයට ද ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් ඔහු පැවසීය.

මෙම රැස්වීමට, පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු වීරසුමන වීරසිංහ, විධායක කමිටු සාමාජිකයින් වන ගරු ජයන්ත වීරසිංහ සහ ගරු ඉසුරු දොඩන්ගොඩ යන මන්ත්‍රීවරයන් සහභාගී වූහ.