― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeNewsගිනිගත් කර්මාන්තපුරයේ රසායන ද්‍රව්‍ය ගබඩාවට බලපත්‍රයක් නැහැ

ගිනිගත් කර්මාන්තපුරයේ රසායන ද්‍රව්‍ය ගබඩාවට බලපත්‍රයක් නැහැ

ඊයේ (17) රාත්‍රියේ ගිනි ගැනීමකට ලක්ව විනාශ වූ හෝමාගම කර්මාන්තපුරයේ පිහිටි රසායනික ද්‍රව්‍ය ගබඩාවට නියමිත පරිසර බලපත්‍රයක් ලබාගෙන නොමැති බව මධ්‍යම පරිසර අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අජිත් වීරසූරිය පවසනවා.

මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් විසින් ගිනි ගැනීමට ලක් වූ ගබඩාවේ අද (18) දිනයේ විශේෂ නිරීක්ෂණය නියෙලෙන බව ද නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර මෙම ගිනි ගැනීමත් සමඟ අදාළ ගබඩාවේ තිබූ රසායනික ද්‍රව්‍යවල කොටස් පරිසරයට එකතුවීමක් ද සිදුව ඇති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පැවසුවේ. මෙම කර්මාන්තය සහ ගබඩාව පවත්වාගෙන ගිය ආකාරය පිළිබඳවත් ගින්නට හේතුවත් විමර්ශන කිරීමෙන් පසු ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කර සිටියා.

මේ අතර මෙවැනි අනතුරු නැරඹීමට යෑමෙන් වැළකී සිටින ලෙස මහජනතාවට දැනුම් දුන් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ මෙවැනි ගිනි ගැනීම් සහ පිපිරීම් නැරඹීමට යාමෙන් දීර්ඝ කාලීනව සෞඛ්‍ය ගැටළු එල්ල විය හැකි බවයි.

ඊයේ රාත්‍රියේ 8.30ට පමණ හටගත් මෙම ගින්න පැය 07ක පමණ මෙහෙයුමකින් පසු මැඩපවත්වා තිබුණා. ඒ සඳහා කෝට්ටේ මහ නගර සභාවේ ගිනි නිවිම් ඒකකය සහ හොරණ නගර සභාවේ ගිනි නිවීම් ඒකකය කටයුතු කළ අතර ඊට පනාගොඩ යුද හමුදා කඳවුරේ හමුදා භටයින්ගේ ද සහාය හිමි වුණා.

ගින්නෙන් කිසිවෙකුටවත් හානි සිදුව නොමැති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. මේ අතර ගිනි ගැනීමට ලක්වූ ගබඩාව අවට ඇති ජල මූලාශ්‍ය භාවිතයේ දී සැළකිලිමත් වන ලෙස අවට ජනතාවට දැනුම් දෙනවා.