― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeWeatherතද සුළං සහ රළු මුහුද ගැන අවවාදාත්මක නිවේදනයක්

තද සුළං සහ රළු මුහුද ගැන අවවාදාත්මක නිවේදනයක්

තද සුළං සහ රළු මුහුද පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අද (03) පෙරවරු 9.30ට මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ හෙට පෙරවරු 9.30 දක්වා වලංගු වන ආකාරයෙන්.

අදාළ නිවේදනයේ දැක්වෙන්නේ නිරිතදිග මෝසම් තත්ත්වය සක්‍රිය වීම හේතුවෙන් හම්බන්තොට සිට පොතුවිල් දක්වා සහ පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 60ක් 70ක් පමණ දක්වා වැඩි විය හැකි බවයි.

පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50ක් 60ක් පමණ දක්වා වැඩි වීමේ හැකියාවක් ද පවතිනවා.

එබැවින් එම මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල යෙදෙන ධීවර සහ නාවික ප්‍රජාව මේ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙසටයි දැනුම් දෙන්නේ.

මේ අතර අද දිනයේත් දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ද ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වනවා.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසටයි ජනතාවට දැනුම් දෙන්නේ.

මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් බස්නාහිර වයඹ සහ උතුරු මැද පළාත්වලත් විටින් විට හමන පැයට කිලෝමීටර් 40ක 45ක පමණ තරමක තද සුළං ද ඇතිවීමේ හැකියාවක් පවතිනවා.