රුපියල් කෝටි 30ක් පමණ වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් ඉතියෝපියාවේ සිට මෙරටට රැගෙන ආ විදෙස් ජාතිකයෙකු ඊයේ (24) රාත්‍රියේ කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට සිදුකර ඇති අතර මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 26 හැවිරිදි කෙන්යානු ජාතික මෝටර් රථ ව්‍යාපාරිකයෙක්.
මොහු ඉතියෝපියාවේ අඩිස්අබාබා නුවර සිට කටාර් රාජ්‍යයේ දෝහා වෙත පැමිණ එතැන් සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 654 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබූ බවයි ගුවන් තොටුපොළ වාර්තාකරු පැවසුවේ.
සැකකරු විසින් රැගෙන ආ අත් බෑගය තුළ ‘කුකීස්’ බිස්කට් අඩංගු ටින් 03 ක් තුළ කිලෝ ග්‍රෑම් 04ක් බරැති මෙම කොකේන් මත්ද්‍රව්‍ය කරල් 180ක් සඟවා තිබුය දී සොයා ගැනීමට රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන්ට හැකිව තිබෙනවා.
ඔහු ගුවන්තොටුපොළ ‘හරිත මාවත’ ඔස්සේ ගුවන්තොටුපොළෙන් පිටතට යාමට සූදානම් වන අවස්ථාවේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.
මෙම කෙන්යානු ජාතිකයා ශ්‍රී ලංකාවට පළමුවරට පැමිණ තිබූ අතර මොහු පිළිබඳව රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය වෙත ජාත්‍යන්තර බුද්ධි තොරතුරු ද ලැබී තිබූ බවයි වාර්තා වුණේ.
සැකකරු කොකේන් මත්ද්‍රව්‍ය තොගය සමඟ වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් වෙත භාර දී තිබෙනවා.




