― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeNewsදයාසිරිගේ වාරණ නියෝගය අත්හිටුවයි

දයාසිරිගේ වාරණ නියෝගය අත්හිටුවයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් දයාසිරි ජයසේකරගෙන් නිදහසට කරුණු විමසා එම පක්ෂයේ සභාපතිවරයා විසින් නිකුත් කර තිබෙන ලිපියක් ක්‍රියාත්මක වීම වළක්වාලමින් නිකුත් කළ වාරණ නියෝගය අත්හිටුවීමට කොළඹ දිසා අධිකරණය අද (26) නියෝග කළා.

හිටපු මහලේකම් දයාසිරි ජයසේකර විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව ඔක්තෝම්බර් මස 05 වනදා දක්වා බලපැවැත්වෙන පරිදි කොළඹ දිසාවිනිසුරු සඳුන් විතාන විසින් ඉකුත් දා මෙම වාරණ නියෝගය නිකුත් කර තිබුණා.

එහෙත් දයාසිරි ජයසේකර වෙත මෙවැනි ලිපියක් නිකුත් කිරීමට පක්ෂයේ මධ්‍යම කාරක සභාවට බලය තිබෙන බව විත්තිකාර මෛත්‍රීපාල සිරිසේන වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා අධිකරණය හමුවේ කරුණු දක්වා සිටියා.

පැමිණිලිකරු සත්‍ය කරුණු වසන් කරමින් මෙම වාරණ නියෝගය ලබාගෙන තිබෙන බැවින් එම වාරණ නියෝගය අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ජනාධිපති නීතිඥ මුස්තාෆා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම කරුණු සලකා බැලූ දිසා අධිකරණය අදාළ වාරණ නියෝගය අත්හිටුවන ලෙස අද (26) නියෝග කරනු ලැබුවා. අනතුරුව නඩුව නැවත නොවැම්බර් මස 05 වනදා කැඳවන ලෙසත් විනිසුරුවරයා නියෝග කළා.

දයාසිරි ජයසේකර අධිකරණය හමුවේ ගොනුකළ පැමිණිල්ල තුළින් දැනුම් දී තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විනය කඩ කළේ යැයි චෝදනා කරමින් තමාට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වන බවත් ඊට අදාළව නිදහසට කරුණු දක්වන ලෙස දන්වා ඉකුත් 18 වනදා පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන විසින් ලිපියක් නිකුත් කර ඇති බවයි.

එවැනි නිදහසට කරුණු ඉල්ලා ලිපියක් යොමුකිරීමට පක්ෂයේ සභාපතිවරයාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාව යටතේ බලයක් නොමැති බවයි දයාසිරි ජයසේකර කියා සිටින්නේ.

ඒ අනුව අදාළ ලිපිය නීතිවිරෝධී බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා දයාසිරි ජයසේකර විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණා.