සෞදි අරාබියේ ගෘහ සේවය සඳහා ගිය මෙරට ගෘහ සේවිකාවකට ආහාර වෙනුවට කොන්ක්‍රීට් ඇණ පහක් සහ රෙදි වියලීමට උපයෝගී කරන යකඩ ස්ප්‍රින් කැබැල්ලක් ද ගිල්ලවා කුසේ ඇණ සමග ලංකාවට එවූ පුවතක් මාතලේ ඇල්කඩුව ප්‍රදේශ වාර්තා වෙයි.
සෞදි රෝහලක සේවය කරන වෛද්‍යවරයෙකුගේ සෘජු මැදිහත්වීම මත මෙම ගෘහ සේවිකාව තානාපති කාර්යාලය හරහා මීට දින කිහිපයකට ඉහතදී ලංකාවට ගෙන්වා ගැනීමට හැකි වී තිබේ.
මෙසේ ආහාර වෙනුවට යකඩ ඇණ ගිල්ලවා ඇත්තේ සෞදි අරාබියේ තායිඩ් ප්‍රදේශයේ ගෘහ සේවිකාවක් ලෙස සේවය කරමින් සිටි මාතලේ ප්‍රදේශයේ ඇල්කඩුව තේ වත්තක ජීවත් වූ එම්.එස් ත්‍යාගා සෙල්වි නැමැති 21 හැවිරිදි එක්දරු මවකි.
තම දියණියට සිදු වූවූ මෙම අපරාධය පිළිබඳව ඇයගේ මව තයාගු කුමාරි වත්තේගම පොලිසියට පැමිණිල්ලක්ද ඉදිරිපත් කර තිබේ.
පසුගිය ජුනි මාසයේ කොළඹ ප්‍රදේශයේ පෞද්ගලික විදේශ රැකියා ආයතනයකින් ගෘහ සේවය සඳහා තමන් ගිය බවත් එහිදී ආහාරපාන ලබා නොදී දැඩි පීඩනයකට පත්ව සිටින අවස්ථාවක තමන් දුරකථනය හරහා සිය මවට ආහාර නොමැති බව පැවසීමෙන්ම හා රැකියා නියෝජිත ආයතනයට ඒ බව දැන්වීම් නිසා උරණ වූ සවුදි රටේ මෙම කාන්තාව සේවය කළ නිවසේ හිමිකාරිය සහ ඇයගේ මව එක්ව ඉතා අමානුෂික අන්දමින් තමන්ට පහර දී කොන්ක්‍රීට් සඳහා ගසන සුදු පැහැති යකඩ කම්බි පහක් ගිල දමන ලෙස බල කරමින් පහර දුන් බවයි ඇය පවසන්නේ.
තමන්ට ආහාර වෙනුවට කඩ කම්බි ගිල්ලවීම ප්‍රතික්ෂේප කිරීමත් සමග දැඩි ලෙස තමන්ට පහරදීම ඉවසා ගැනීමටට නොහැකිව වූ තැන යකඩ කම්බි ගිල දැමූ බව ඇය සඳහන් කළාය.
පසුව රෙදි වියලීම සඳහා උපයෝගී කරගන්න සුදු යකඩවලින් නිෂ්පාදිත ස්ප්‍රින් එකක් ගිල්ල වූ බවත් එම යකඩ කැබැල්ල උගුරේ සිරවූ බවත් ඇය හැඬූ කඳුළින් පැවසුවාය.
දින කිහිපයක් මේ ආකාරයෙන් පසුවෙද්දී එකවරම තමන්ගේ උදරයෙන් මුඛයෙන් ලේ වහනය වීම හේතුවෙන් එම නිවැසියන් තමන්ව එරට රෝහලකට රැගෙන ගිය බව ඇය පැවසුවාය.
කෙසේ වෙතත් එහි සිටි වෛද්‍යවරුන් පරික්ෂා කොට බැලීමේදී එම කාන්තාවගේ උදරයේ යකඩ ඇණ පහක් දැක ඒ සඳහා ප්‍රතිකාර ලබා දීමට ඉදිරිපත් වූ බව ඇය සඳහන් කළාය.
පසුව එරට පොලිසිය පැමිණ තමාගෙන් ප්‍රකාශයක් ලබාගත් බවත් තමන් රෙදි වේලීම සඳහා යොදා ගන්නා සුදු යකඩ කම්බියක් කටේ දමා වැඩ කරමින් සිටියදී එහි දරුවෙකු හැපීමත් සමග එය ගිලී උගුරේ සිරවී තිබෙන නිසා උගුරේ සිර වී තිබුණු සුදු යකඩ ස්ප්‍රින් එළියටගැනීම සඳහා කම්බි ඇණ පහක් ගිල දැමූ බවට අවසානයේදී පොලිසිය ප්‍රකාශවල සටහන් වී ඇතැයි ඇය හැඬූ කඳුළින් ප්‍රකාශ කළාය.
සිද්ධිය සම්බන්ධයෙන් දැඩි කම්පනයට පත් වූ එරට රෝහලේ වෛද්‍යවරයකු ඉදිරිපත් වී තම නිවැසියන්ට තමන් භාර නොදී නැවත පොලිසිය හරහා තනානාපති කාර්යාලය දැනුවත් කොට ලංකාවට එවීමට පියවර ගත් බව ඇය සඳහන් කළාය.
පසුව ලංකාවට පැමිණ මහනුවර රෝහලේදී පරික්ෂා කිරීමේදී තවත් ඇණ දෙකක් තම කුස තුළ තිබෙන බව එක්ස්රේවලින් පෙනී ගිය බැවින් ඉන් එක් ඇණයක් දින දෙකකට ඉහතදී වෛද්‍යවරුන් එළියට ගත් බවත් තවත් එක යකඩ ඇණයක් තමන්ගේ උදරයේ පිට කොන්ද ප්‍රදේශයේ රැඳී තිබෙන බවත් ඇය පැවසුවාය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් විදේශ රැකියා ආයතනය දැනුවත් කළද ඊට නිසි ප්‍රතිචාරයක් නොදැක්වා ඇති අතර සැමියාගෙන් වෙන්වී දරුවෙකු සමග තනිව ජීවත්වන තම දියණිය දරුවාගේ අනාගතය සඳහා විදේශගත වූ බවයි මෙම තරුණියගේ මව පැවසුවේ.