― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsවෛද්‍යවරුන්ට බ්‍රිතාන්‍යයේ රැකියා අවස්ථා රැසක්

වෛද්‍යවරුන්ට බ්‍රිතාන්‍යයේ රැකියා අවස්ථා රැසක්

එක්සත් රාජධානියේ සෞඛ්‍ය සේවාව තුළ අර්බුදකාරී තත්ත්වයක් උද්ගත වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

ඒ ඵලදායී සෞඛ්‍ය සේවාවක් පවත්වාගෙන යාම සඳහා එරට ජනගහණයට ප්‍රමාණවත් සෞඛ්‍ය ‌සේවක පිරිසක් නොසිටීම හේතුවෙන්. ඒ සඳහා පිළියමක් ලෙස බ්‍රිතාන්‍ය සෞඛ්‍ය බලධාරීන් දීර්ඝ කාලීන සැලැස්මක් ක්‍රියාත්මක කර ඇතත්, එම වැඩපිළිවෙළ හරහා බ්‍රිතාන්‍ය තුළ ම සුදුසුකම් ලත් සෞඛ්‍ය සේවකයින් බිහි වීමට 2031 වසර තෙක් බලා සිටීමට සිදුව ඇති බව සඳහන්.

එක්සත් රාජධානිය තුළ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පුරප්පාඩු 110000ක් ඇතැයි එරට ජාතික සෞඛ්‍ය සේවාව පවසනවා. ඒ අනුව, බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවාවේ සෑම තනතුරු 10කින් එකක් පුරප්පාඩු වී ඇති බවයි වාර්තා වන්නේ.

ජාතික සෞඛ්‍ය සේවාව පවසන පරිදි මේ වන විට පූර්ණ කාලීන වෛද්‍යවරුන් 10,855ක හිඟයක් පවතින අතර එය වෛද්‍යවරුන්ගේ අවශ්‍යතාවයෙන් 7.2ක ප්‍රතිශතයක්.

පවතින තත්ත්වය අනුව එක්සත් රාජධානියේ පුරවැසියන් 1000ක් සඳහා සිටින වෛද්‍යවරුන්ගේ අනුපාතය 3.2ක්. ආර්ථික සහයෝගීතා සහ සංවර්ධන සංවිධානය (OECD) පෙන්වා දෙන්නේ, බටහිර යුරෝපයේ රටවල් අතර ජනගහණයට සාපේක්ෂව අඩුම වෛද්‍යවරුන් සංඛ්‍යාවක් සිටින රට, එක්සත් රාජධානිය බවයි.

මෙවැනි පසුබිමක් තුළ බ්‍රිතාන්‍යයේ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය සේවකයින් කාර්ය බහුලත්වය අධික වීම නිසා වෙනත් රටවල සේවයට යාමේ ප්‍රවණතාවක් ඇති වී ඇතැයි එරට වෛද්‍ය මහා සභාව (The General Medical Council) පවසනවා.

ඒ අනුව, 2022 වසරේදී බ්‍රිතාන්‍ය වෛද්‍යවරුන් 2000ක් එරට අතහැර වෙනත් රටවල සේවයට ගොස් තිබෙනවා. සෞඛ්‍ය ශ්‍රම බළකාය ඉහළ දැමීමට අනුගමනය කෙරෙන දීර්ඝ කාලීන වැඩපිළිවෙළෙහි ප්‍රතිඵල ලබා ගැනීම සඳහා තවත් දශකයක පමණ කාලයක් ගත වනු ඇති බවයි එක්සත් රාජධානියේ වෛද්‍ය මහා සභාවේ ප්‍රධාන විධායක චාර්ලී මැසී ප්‍රකාශ කළේ.

2022 වසරේදී බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවයට බඳවා ගත් වෛද්‍යවරුන්ගෙන් 63%ක් එනම් තුනෙන් දෙකක් විදෙස් රටවල සුදුසුකම් ලැබූ වෛද්‍යවරුන් බව වෛද්‍ය මහා සභාව අනාවරණ කර තිබෙනවා.

2012 වසරේ සිට 2022 වසර දක්වා දශකයක කාලය තුළ වාර්ෂිකව බ්‍රිතාන්‍යයේ සේවයට එක්වූ ශ්‍රී ලාංකික වෛද්‍යවරුන් සංඛ්‍යාව පසුගිය වසර දෙකක කාලය තුළ ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයිද සඳහන්

2012 වසරේ සිට 2020 දක්වා කාලය තුළ බ්‍රිතාන්‍යයේ සේවයට ගිය වෛද්‍යවරුන් සංඛ්‍යාව වසරකට 250කට වඩා අඩු සංඛ්‍යාවක පැවතුණු බව බ්‍රිතාන්‍යයේ වෛද්‍ය මහා සභා වාර්තාව අනුව පෙනී යනවා.

2021 වසරේදී එම සංඛ්‍යාව 400කට ආසන්න අගයක් ගෙන ඇති අතර 2022 වසරේදී 500 ඉක්මවා තිබෙනවා. එනම් 2020 වසරට සාපේක්ෂව දෙගුණයක ඉහළ යාමක්.

එමෙන්ම බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවාවට එක්වූ මූලික වෛද්‍ය සුදුසුකම් සහිත වෛද්‍යවරුන් වැඩි ම සංඛ්‍යාවක් පැමිණි රටවල් 5 අතර ශ්‍රී ලංකාව ද සිටීම විශේෂත්වයක්.

වෛද්‍ය මහා සභා වාර්තාව අනුව එම රටවල් 5 වන්නේ,

ඉන්දියාව (2400)
පකිස්ථානය (2400)
නයිජීරියාව (1700)
ඊජිප්තුව (1200)
ශ්‍රී ලංකාව (550) යන රටවල්.

මේ අතර, 2010 වසර වන විට බ්‍රිතාන්‍යය තුළ ශ්‍රී ලාංකික වෛද්‍යවරුන් 2423 දෙනෙකු ලියාපදංචි වී තිබෙනවා. ශ්‍රී ලංකාවේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන පරිදි 2022 වසරේ ජූනි 01 වනදා සිට 2023 මැයි 31 වන දා දක්වා ශ්‍රී ලාංකික වෛද්‍යවරුන් 1000කට අධික සංඛ්‍යාවක් රට හැර ගොස් තිබෙනවා.

ඒ සේවයෙන් ඉවත්ව රට හැර ගිය ශ්‍රේණි වෛද්‍යවරුන් 842ක් සහ සේවයෙන් ඉවත්ව රට හැර ගිය විශේෂඥ වෛද්‍යවරුන් 274ක් වශයෙන්. මේ අතර පශ්චාත් උපාධි අධ්‍යාපනය සඳහා විදෙස්ගත වූ වෛද්‍යවරුන් නැවත ශ්‍රී ලංකාවට පැමිණ වසර 8ක් ශ්‍රී ලංකාවේ සේවය කළ යුතු වුවත් ඇතැම් වෛද්‍යවරුන් එසේ නොකරන බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ.

එම අමාත්‍යංශය පවසන්නේ, විදෙස්ගතව අධ්‍යාපනය ලැබූ වෛද්‍යවරුන් 343 දෙනෙකු 2022 වසරේ ජනවාරි මාසයේ සිට 2023 වසරේ ජූලි මාසය දක්වා කාලය තුළ නැවත ශ්‍රී ලංකාවට පැමිණ ඇතත් ඉන් 120 දෙනෙකු පමණ දැනුම්දීමකින් තොරව රටින් පිටව ගොස් ඇති බවයි.