― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsවිමල්ගේ මූලික විරෝධතාව අධිකරණයෙන් විසිවෙයි

විමල්ගේ මූලික විරෝධතාව අධිකරණයෙන් විසිවෙයි

අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් සිටියදී රුපියල් මිලියන 75කට අධික වත්කම් සහ මුදල් උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වූ බවට චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය විමල් වීරවංශට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව පවරා පවත්වාගෙන යාමට නොහැකි බවට ඔහුගේ නීතිඥවරු විසින් මතු කරනු ලැබූ මූලික විරෝධතා කොළඹ මහාධිකරණය විසින් අද ප්‍රතික්‍ෂේප කර තිබෙනවා.

ඒ අනුව අදාළ නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා ජනවාරි මස 29 වනදා කැඳවන ලෙසටයි කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ නියෝග කළේ.

අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන මෙම නඩුව අල්ලස් පනත යටතේ පවරා පවත්වාගෙන යාමට නොහැකි බවත් ඒ අනුව අදාළ අධි චෝදනා පත්‍රය ප්‍රතික්ෂේප කර සිය සේවාදායකයා නිදහස් කරන ලෙසත් විත්තිකාර විමල් වීරවංශ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවින්ද්‍ර ප්‍රනාන්දු ඇතුළු නීතිඥ මණ්ඩලයක් මීට පෙර මූලික විරෝධතා ගොනුකර තිබුණා.

ඊට අදාළ තිරණය ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේ අදාළ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කරන බවත් නඩුව විභාගය සඳහා දින නියම කරන බවයි.

2010 වසරේ ජනවාරි මස 01 වැනිදා සහ 2017 වසරේ දෙසැම්බර් මස 31 වනදා අතර කාලසීමාව තුළ අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් රුපියල් මිලියන 75කට අධික වත්කම් හා මුදල් උපයා ගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කර හිටපු අමාත්‍ය විමල් විරවංශට එරෙහිව පසුගිය යහපාලන රජය සමයේ අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනුකර තිබෙනවා.