කච්චතිව් ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය උත්කර්ෂවත්ව පැවැත්වීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් ස්ථාපනය කිරීමේ කටයුතු මේ වන විට ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහයෙන් සිදු කරනු ලබනවා.
කච්චතිව් දූපතේ ඓතිහාසික ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය මෙම මස 23 සහ 24 දෙදින උත්කර්ෂවත්ව පැවැත්වීමට අවශ්‍ය කටයුතු මේ වනවිට සිදු කරමින් පවතිනවා.
ඒ අනුව නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරාගේ උපදෙස් හා මඟපෙන්වීම මත කච්චතිව් ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය සඳහා සහභාගී වන බැතිමතුන් වෙනුවෙන් තාවකාලික ජැටි ඉදි කිරීම පානීය ජලය, සනීපාරක්‍ෂක පහසුකම්, තාවකාලික කුටි සහ තාවකාලික මංමාවත් සකස් කිරීම මෙන්ම විදුලි බල පහසුකම් ස්ථාපනය කිරීමද මේ දිනවල කඩිනමින් සිදුකරමින් පවතියි.
බැතිමතුන්ගේ ආරක්‍ෂාව සඳහා ජීවිතාරක්‍ෂක කණ්ඩායම් යෙදවීමට අවශ්‍ය ස්ථාන හඳුනා ගැනීම හා වෛද්‍ය පහසුකම් සැලසීම සඳහා තාවකාලික ගිලන්හලක් ඉදිකිරීමද නාවික හමුදාව විසින් සිදුකරනු ලබනවා.
වාර්ෂිකව පැවැත්වෙන මෙම දේව මංගල්‍යය සඳහා මෙම වසරේ ඉන්දියානු හා ශ්‍රී ලාංකික කතෝලික බැතිමතුන් විශාල පිරිසක් සහභාගී වනු ඇතැයි අපේක්‍ෂා කෙරේ. ඒ අනුව, කන්කසන්තුරය සහ කුරිකඩ්ඩුවාන් සිට කච්චතිව් දූපත දක්වා පූජකවරුන්, රජයේ නිලධාරීන්, විශේෂ පුද්ගලයින්, බැතිමතුන්, දෙස් විදෙස් මාධ්‍යවේදින් හා දේව මෙහෙය සඳහා අවශ්‍ය විවිධ භාණ්ඩ හා උපකරණ නාවික හමුදාවේ අධීක්ෂණයෙන් ආරක්‍ෂිතව මුහුදු මාර්ගයෙන් ප්‍රවාහනය කිරීම සඳහා කටයුතු සම්පාදනය කරමින් පවතියි.








