― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsපාරිභෝගිකයින්ට පොළියක් ගෙවීමට ලංවිම එකඟ වෙයි

පාරිභෝගිකයින්ට පොළියක් ගෙවීමට ලංවිම එකඟ වෙයි

අලුතින් විදුලි සැපයීමක් ලබාදීමේදී ලංකා විදුලිබල මණ්ඩලය විසින් පාරිභෝගිකයින්ගෙන් අයකර ගන්නා තැන්පතු මුදල් සඳහා 2023 වසර වෙනුවෙන් පොළියක් ගෙවීමට සූදානම් බව ලංකා විදුලිබල මණ්ඩලය අද (13) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දැනුම් දුන්නා.

විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති පාරිභෝගික සංගමය විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද කැඳවනු ලැබූ අවස්ථාවේදීයි මෙම දැනුම්දීම සිදුකෙරුණේ.

මෙම පෙත්සම අද එස්. තුරෙයිරාජා, ගාමිණී අමරසේකර සහ යසන්ත කෝදාගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එම අවස්ථාවේදී ලංකා විදුලිබල මණ්ඩලය වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නිර්මලන් විග්නේෂ්වරන් අධිකරණය හමුවේ කරන දක්වමින් නව විදුලි සම්බන්ධතා ලබාදීමේදී ලංකා විදුලිබල මණ්ඩලය විසින් පාරිභෝගිකයින්ගෙන් අයකර ගන්නා තැන්පතු මුදල් වෙනුවෙන් 2023 වසර සඳහා සියයට 11.67 ක වාර්ෂික පොළියක් ගෙවීමට සූදානම් බව දැනුම් දුන්නා.

එම පොළිය 2024 වසරේ ජනවාරි මාසයේ සිට ගෙවීමට ලංකා විදුලිබල මණ්ඩලය විසින් කටයුතු කරන බවත් ඔහු දන්වා සිටියා. මෙම ගෙවීම නිසි පරිදි ක්‍රියාත්මක වන්නේදැයි සොයා බැලීම සඳහා අදාළ පෙත්සම යළි ලබන මාර්තු මස 21 වැනිදා කැඳවන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.

නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ මාර්ගයෙන් ගොනුකර තිබෙන පෙත්සම් තුළින් පෙත්සම්කරුවන් කියා සිටින්නේ ලංකා විදුලිබල මණ්ඩල පනතේ 28(3) වගන්තිය යටතේ නව විදුලි සම්බන්ධතා ලබාදීම සඳහා පාරිභෝගිකයින්ගෙන් අයකර ගන්නා තැන්පතු මුදල වෙනුවෙන් පොළියක් ගෙවීමට එම මණ්ඩලය කටයුතු කළ යුතු බවයි.

එහෙත් ලංකා විදුලිබල මණ්ඩලය විසින් මේ දක්වා එවැනි පොළී ගෙවීමක් සිදුකර නොමැති බවත් මේ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් ඉල්ලමින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.