― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsලබන සතියේ දින 03ක් මැතිසබේ රැස්වෙයි

ලබන සතියේ දින 03ක් මැතිසබේ රැස්වෙයි

එළඹෙන 20, 21 සහ 22 යන දිනවල පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

ඊයේ (15) කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දීයි මේ බව තීරණය වී ඇත්තේ.

ඒ අනුව පෙබරවාරි 20 වැනි අඟහරුවාදා පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව රැස්වන අතර පස්වරු 5.00 දක්වා සුරක්ෂිත ලත් ගනුදෙනු, භාර ලදුපත්(සංශෝධන), උකස්(සංශෝධන), කල්බදු මූල්‍යකරණ(සංශෝධන), දේශීය භාර ලදුපත්(සංශෝධන), සමාගම් සංශෝධන, ලේඛන ලියාපදිංචි කිරීමේ(සංශෝධන) යන පනත් කෙටුම්පත් දෙවැනිවර කියවීම මෙන්ම ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ අංක 2360/36 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රයේ සදහන් නියමය සහ ආනයන හා අපනයන (පාලන) පනත යටතේ අංක 2366/19 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රයේ සදහන් රෙගුලාසි ද විවාදයට ගැනීමට නියමිතයි.

එදින පස්වරු 5.00 සිට පස්වරු 5.30 දක්වා ආණ්ඩු පාර්ශවය ගෙන එන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිත බවයි පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න සඳහන් කළේ.

පෙබරවාරි 21 වැනි බදාදා පෙරවරු 9.30 ට අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ අංක 2371/11 සහ අංක 2371/16 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රවල සදහන් නියමයන් දෙකක් විවාද කිරීමෙන් තොරව අනුමත කර ගැනීමට ද මෙහිදී එකඟත්වය පළවී තිබෙනවා.

අනතුරුව පෙරවරු 9.30 සිට පෙරවරු 10.30 දක්වා අධිකරණ සංවිධාන පනත යටතේ අංක 2238/34, 2303/23 සහ 2362/67 දරණ ගැසට් පත්‍රවල සදහන් නියෝග විවාද කිරීමෙන් අනතුරුව සම්මත කිරීමට නියමිතයි.

ඉන්පසු පෙරවරු 10.30 සිට පස්වරු 5.30 දක්වා රටේ වර්තමාන තත්ත්වය පිළිබඳව විපක්ෂය ගෙනෙන යෝජනාව අනුව සභාව කල්තැබීමේ විවාදය පැවැත්වීමට ද මෙහිදී තීරණය වී තිබෙනවා.

පෙබරවාරි 22 වැනි බ්‍රහස්පතින්දා පෙරවරු 9.30 සිට පස්වරු 5.30 දක්වා අභාවප්‍රාප්ත රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත වෙනුවෙන් ශෝකය පළ කිරීමේ යෝජනා ඉදිරිපත් කිරීමට ද මෙහිදී තීරණය වූ බවයි නියෝජ්‍ය මහ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.