― political ―

පලස්තීන ජනතාව වෙනුවෙන් සජිත් පෙරට එයි

කවුරු කතා කරන්න බිය වුවත්, ඊශ්‍රාලය විසින් පලස්තීන ජනතාව එල්ල කරන අමානුෂීය ප්‍රහාරවලට තමන් විරුද්ධ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව...
HomeHot Newsසාජාහි දී මියගිය තරුණියගේ දේහය දිවයිනට

සාජාහි දී මියගිය තරුණියගේ දේහය දිවයිනට

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී විදුලි සැර වැදී මිය ගිය ශ්‍රී ලාංකික සේවිකාවක වන ජයමිණි සදමාලි විජේසිංහගේ සිරුර අද (03) අලුයම කටුනායක ගුවන්තොටුපොළ වෙත එවා තිබුණා.

වසර ගණනාවකට පසු එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව නිසා ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් එරට සාජා නුවර භූගතව ඇද තිබූ විදුලි රැහැන් පද්ධතිය තුළින් විදුලිය කාන්දු වී, මෙම කාන්තාවට විදුලි සැර වැදී තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ කළුතර, මතුගම පදිංචි 26 හැවිරිදි ජයමිණි සදමාලි විජේසිංහ නම් අවිවාහක තරුණියකි.

ඇය සිය සහෝදරයෙකුගේ මාර්ගයෙන් සාජා හි සන්නිවේදන ආයතනයක පිළිගැනීමේ නිලධාරිනියක ලෙස මාස 11 ක කාලයක් සේවය කර තිබෙනවා.

ඉකුත් මාර්තු මස 09 වැනිදා රාත්‍රී 09.30 ට පමණ ඇය නැවතී සිටි නේවාසිකාගාරයේ සිට එහි ඉදිරිපිට පිහිටි වෙළෙඳසැළ වෙත යාමට පැමිණ තිබුණි.

ඒ වනවිට වසර ගණනාවකට පසුව එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව නිසා සාජා නුවර ද ගංවතුර ආපදා තත්වයක් ඇති වී තිබුණි.

ඇය සේවය කළ සාජා නුවර ද භූගතව විදුලි රැහැන් පද්ධතිය ඇද තිබූ අතර මෙම ගංවතුර තත්වයත් සමඟ මෙම විදුලි පද්ධතිය කාන්දු වීමට පටන් ගෙන තිබේ.

මේ බව නොදත් ජයමිණි සදමාලි විජේසිංහ මෙම ගංවතුරට බසිත්ම, විදුලි සැර වැදීමට ලක් වී තිබුණි.

ඒ වනවිටත් ඊජිප්තු ජාතිකයන් දෙදෙනෙකුට, බංගලදේශ ජාතිකයෙකු සහ පිලිපීන ජාතිකයෙකු ද මේ ආකාරයටම මෙම ස්ථානයේ විදුලි සැර වැදී මිය ගොස් තිබේ.

ජයමිණිට විදුලි සැර වැදීමෙන් පසු ඒ අවට පිරිසක් මේ පිළිබඳ දැනුම් දීමෙන් පසුව ආරක්ෂක අංශ එම ස්ථානයට පැමිණ, එම ප්‍රදේශයේ ගමනාගමන කටයුතු අත්හිටුවා ආරක්ෂිත පියවර ගැනීමට පියවර ගෙන තිබෙනවා.

ජයමිණි සදමාලි විජේසිංහගේ සිරුර භාර ගැනීමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ඇයගේ වැඩිමහල් සොහොයුරු මේ පිළිබඳව අදහස් දක්වමින් තමන් ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලයේ විදුලි කාර්මික නිලධාරීවරයෙකු බවත් මෙම භූගත විදුලිබල පද්ධතිය ස්වයංක්‍රීයව අක්‍රීය වී නොතිබීම සහ එම පද්ධතිය ගංවතුර ආපදා තත්වය තුළ දී අක්‍රීය කිරීමට පියවර නොගැනීම පිළිබඳ සාජා නුවර එරට විදුලි බල මණ්ඩලය වෙත චෝදනා ඉදිරිපත් කළේය.

තමන් ඩුබායි හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයෙන් මේ පිළිබඳව විමසූ අවස්ථාවේ විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් මේ පිළිබඳව විමසන ලෙස තමන්ව දැනුවත් කළ බවයි ඔහු පැවසුවේ.

ජයමිණි සේවය කළ ආයතනය මෙම මළ සිරුර ශ්‍රී ලංකාවට එවීම සදහා බරපැන දරා තිබූ අතර තවත් ඩිරාම් 4,000 ක් ද එවා තිබූ බවයි සොහොයුරා පවසන්නේ.

එහෙත් එරට රජයේ අතපසු වීමක් නිසා මෙම මරණය සිදු වී ඇති බැවින් මෙහි සියලුම වගකීම ඔවුන් දැරිය යුතු බවයි ජයමිණිගේ පවුලේ අයවලුන් පවසන්නේ.

ජයමිණිගේ සිරුර අද (03) අලුයම 04.55 ට ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යු.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබූ අතර එය භාර ගැනීමට ජයමිණිගේ අම්මා, නංගී, සහෝදරයා ඇතුළු පිරිසක් පැමිණ සිටියහ.