තියුණු ආයුධ පෙන්නා ලක්ෂ හතළිහකට ආසන්න මුදලක් මංකොල්ල කෑ පුද්ගලයින් සිවුදෙනෙක් කළුතර අපරාධ කොට්ඨාසය විසින් අද (22) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අප්‍රේල් මස 01 වැනිදා දහවල් හොරණ, සව්ගස්හන්දිය ප්‍රදේශයේ පිහිටි තිරිඟු පිටි තොග වශයෙන් ගෙන්වා බෙදා හරින ආයතනයකට යතුරු පැදියකින් පැමිණ තියුණු ආයුධ පෙන්වා, එම ආයතනයේ සේවකයින් දෙදෙනෙකුද ගැටගසා, ආයතනයේ රුපියල් ලක්ෂ හතළිහකට ආසන්න මුදලක් මංකොල්ල කෑ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා ඇතුළු තවත් හතර දෙනෙකු බවයි කළුතර අපරාධ කොට්ඨාසය පවසන්නේ.
මෙම පුද්ගලයින් සන්තකයේ තිබී එම මංකොල්ල කෑ මුදලින් රුපියල් ලක්ෂ 11ක්, මෙම මංකොල්ල කෑම සඳහා භාවිතා කළ යතුරුපැදිය, හෙල්මට් දෙකක් සහ තියුණු ආයුධ දෙකක් පොලිස් භාරයට ගෙන ඇත.
පුද්ගලයින් දෙදෙනා යතුරුපැදියෙන් එම මංකොල්ලකෑම සිදුකොට පලායන අයුරු අවට පිහිටි සීසීටීවී කැමරාවල සටහන් වී තිබෙනවා. පොලීසිය විසින් එම සීසීටීවී දර්ශන විශ්ලේෂණයෙන් පසු යතුරුපැදියේ පසුපැදිකරු වශයෙන් කටයුතු කළ ප්‍රධාන සැකකරුවෙක් හොරණ, පොකුණු විට මංසන්ධියේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී එම යතුරුපැදිය පැදවූ අනෙක් සැකකරු හොරණ නගරයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර වයස අවුරුදු 24 සහ 34 හැවිරිදි මෙම සැකකරුවන් දෙදෙනාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී හොරණ, වැලිකල ප්‍රදේශයේ යතුරුපැදිය පැදවූ පුද්ගලයාගේ නිවසේ තිබී රුපියල් ලක්ෂ 11ක මුදලක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
එමෙන්ම එම නිවසේ සඟවා තිබූ එම මංකොල්ලකෑම සඳහා භාවිතා කළ යතුරු පැදිය ද, එම මංකොල්ල කෑම්වලින් මිලදී ගත් යතුරුපැදියක් හා මෙම මංකොල්ලකෑම් සඳහා භාවිතා කළ තියුණු ආයුධ දෙකක්, රන් මාල දෙකක් පොලිස් භාරයට ගෙන ඇත.
ඔවුන්ගෙන් කරන ලද දීර්ඝ විමර්ශනවලදී මෙම මංකොල්ලකෑම සඳහා උපදෙස් ලබා දුන් ප්‍රධාන මොළකරු වන හොරණ, සිදුරංගල ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික බේකරියක හිමිකරුවකු සහ මෙම මංකොල්ල කෑම සඳහා අනුබල දුන් හොරණ සව්ගස්හන්දියේ පිහිටි පිටි බෙදා හැරීමේ ආයතනයේ සේවකයෙකු ද පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම මංකොල්ල කෑමෙන් පසුව මංකොල්ල කෑ මුදල් මෙම පුද්ගලයින් විසින් බෙදා ගැනීමට කටයුතු කොට තිබෙනවා. මොවුන් දෙදෙනා දැඩි ලෙස මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වූවන් දෙදෙනෙක් වන අතර මෙම මංකොල්ල කෑ මුදල්වලින් විශාල ප්‍රමාණයකිනුත් ඔවුන් දෙදෙනා මත්ද්‍රව්‍ය පානය කොට ඇති බවයි වාර්තා වන්නේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සිවුදෙනාම හොරණ, වැලිකල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලීසිය පැවසුවේ.
සැකකරුවන් හෙට හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.