― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsජනතාවට කඩිනම් සහන සලසන්න ජනපතිගෙන් උපදෙස්

ජනතාවට කඩිනම් සහන සලසන්න ජනපතිගෙන් උපදෙස්

මේ වසරේ නිරිත දිග මෝසම් තත්ත්වය ආරම්භ වීමෙන් පසු මේ වනවිට රටේ උද්ගත වී ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආපදාවට ලක්වූවන්ට කඩිනම් සහන සැලසීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන අදාළ දිස්ත්‍රික් ලේකම්වරු වෙත වහාම නිකුත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත උපදෙස් ලබා දී තිබෙනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් අදීප තිලකරත්න පවසන්නේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල 25ට අනුබද්ධිතව පිහිටා ඇති දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන පූර්ණ වශයෙන් බලාත්මකව ක්‍රියාත්මක කිරීම සඳහා ඊයේ (02) දහවල් පැවති සාකච්ඡාවකදී තමන් වෙත උපදෙස් ලැබුණු බවයි.

එමෙන්ම ආපදා තත්ත්වය හේතුවෙන් පූර්ණ හානියට පත් සියලු නිවාස රජයේ මුදලින්, ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ දායකත්වයෙන් ඉදිරි මාස 02 තුළ ඉදි කිරීමට පියවර ගන්නා ලෙස එහිදී ජනාධිපතිවරයා අදාළ පාර්ශ්වයන් වෙත උපදෙස් දුන්නේය.

මේ සම්බන්ධ පූර්ණ සැලැස්මක් හෙට දිනයේ දී ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායකගේ සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායකගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මේ වනවිට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, බලපෑමට ලක්ව ඇති සියලු ප්‍රදේශීය ලේකම් කාර්යාලවල අත්‍යාවශ්‍ය නිලධාරීන් සහ ග්‍රාම සේවා නිලධාරීන් ප්‍රමුඛ ප්‍රාදේශීය ආපදා කළමනාකරණ නිලධාරීන් විපතට පත්වූවන්ට සියලු සහන සැලසීම සඳහා කටයුතු කරමින් සිටී.

එම සියලු නිලධාරීන්ගේ කැපවීම අගය කළ ජනාධිපතිවරයා එම සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහාත්, වහාම ආපදා තත්ත්වයන්ගෙන් මහජනතාව මුදාගෙන සාමාන්‍ය ජීවන තත්ත්වයක් පවත්වාගෙන යාම සඳහා රජයෙන් ලබාදිය හැකි සියලු සහාය නොපමාව ලබා දෙන බවත් සඳහන් කළේය.

එහිදී ත්‍රිවිධ හමුදාවේ, පොලීසියේ සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ සහාය උපකරණ සහ ගංවතුර තත්ත්වයන් සඳහා භාවිත කළ හැකි ඕනෑම වර්ගයේ ක්‍රියාන්විත රථයක, බෝට්ටුවක හෝ හෙලිකොප්ටර්වල දායකත්වය ලබා දීමට එකඟත්වය පළ කළ බවද ඒ මහතා සඳහන් කළේය. ඒ අනුව මේ වන විට නාවික හමුදාව, ගුවන් හමුදාව සහ යුද හමුදාව එම කටයුතු වෙනුවෙන් පූර්ණ වශයෙන් කැපවී සිටින බව ද ඔහු පෙන්වා දුන්නේය.