― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot News2040 දී ශ්‍රී ලංකාව ශුන්‍ය කාබන් විමෝචන ඉලක්කය සපුරනවා

2040 දී ශ්‍රී ලංකාව ශුන්‍ය කාබන් විමෝචන ඉලක්කය සපුරනවා

රටේ ආර්ථික ඉලක්ක සපුරා ගන්නා අතරතුර 2040 වසර වන විට ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචන ඉලක්කය ද සපුරා ගැනීමට ශ්‍රී ලංකාව කැපවී සිටින බවත්, කාබන් විමෝචනය ශුන්‍ය කිරීමේ ගෝලීය ඉලක්කය ජාතික ප්‍රතිපත්තියට ඇතුළත් කළ ආසියාවේ පළමු රට ශ්‍රී ලංකාව වන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (05) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති ජගත් පරිසර දින සැමරුම් උත්සවය අමතමිනි.

eහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියා සිටියේ දේශගුණික විපර්යාසවලට මුහුණ දීමේදී සහ පරිසරයට අදාළ ශ්‍රී ලංකාවේ වත්මන් කාර්යභාරය සාම්ප්‍රදායික වැඩපිළිවෙළට සීමා කළ නොහැකි බවත්, එය වඩා ඉදිරියට ගෙන යමින් රටේ ආර්ථික ප්‍රතිපත්තියට මෙන්ම විදේශ ප්‍රතිපත්තියට ද ඇතුළත් කර තිබෙන බවත්ය.

එසේම දේශගුණික විපර්යාස පනත සහ දේශගුණික විපර්යාස පිළිබඳ මධ්‍යස්ථානය ඇති කිරිමට අදාළ පනත නීතිගත කිරීමත් සමඟ පරිසරය සහ දේශගුණික විපර්යාසවලට අදාළ නීතිමය රාමුව රට තුළ නිර්මාණය වන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එවන් නීතිමය රාමුවක් අනෙකුත් රටවල දක්නට නොලැබෙන්නක් බවද සඳහන් කළේය.

එමෙන්ම දේශගුණික විපර්යාස පිළිබඳ (Cop) සමුළුවලදී මෙන්ම අනෙකුත් ජාත්‍යන්තර වේදිකාවලදී ද ශ්‍රී ලංකාව පරිසරය වෙනුවෙන් ඉදිරියට පැමිණ කටයුතු කරන බව පැවසු ජනාධිපතිවරයා එහි ප්‍රධාන පියවරක් වශයෙන් දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය මෙරට ස්ථාපිත කිරීමට අදාළ කෙටුම්පත ලබන වසරේ ජුනි මාසයට පෙර නීතිගත කිරීමට අපේක්ෂා කරන බවද සඳහන් කළේය.

දේශගුණික විපර්යාසවලට මුහුණදීම සඳහා බටහිර දියුණු රටවලින් ලබාදෙන බවට පොරොන්දු වු මුදල් පිළිබඳ විශ්වාසයක් තැබිය නොහැකි බව සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ යුක්‍රේන යුද්ධයට ඇමරිකාව සහ යුරෝපය මේ වසරේ යොදවා තිබෙන මුදල් දෙස අවධානය යොමු කළහොත් එම මුදල් දේශගුණික විපර්යාවලට මුහුණදීමේ කටයුතු වෙනුවෙන් වසර දෙකකට ප්‍රමාණවත් බවද පැවසීය.

දේශගුණික විපර්යාසවලට මුහුණදීමේ දී අප්‍රිකාවේ අඩුආදයම්ලාභී රටවලට සහනයක් ලබා දීමට ලොව දියුණු රටවලට බල කරන අතරම නිවර්තන කලාපයේ රටවලට අවශ්‍ය මුදල් තමන්ම සොයාගත යුතු බව පැවසූ ජනාධිපතිවරයා එමඟින් ලෝකයේ දේශගුණික විපර්යාසවලින් කොටසක් නිවර්තන කලාපයේ රටවලට පාලනය කිරීමට හැකියාව ලැබෙන බවද පෙන්වා දුන්නේය.

මෙවර ජගත් පරිසර දිනය පවත්වනු ලබන්නේ ඉතා තීරණාත්මක අවස්ථාවකයි. ගෝලීය දේශගුණික විපර්යාස දෙස අවධානය යොමු කරන විට පැරිස් ගිවිසුමේ සඳහන් දේශගුණික විපර්යාසවලට මුහුණ දීමට අදාළ ඉලක්ක සපුරා ගැනීම පිළිබඳ අපට බලාපොරොත්තුවක් ඇති කරවන බව කිව යුතුයි. දැනටමත් අප අපේක්ෂා කළ මට්ටමට වඩා ගෝලීය උෂ්ණත්වය ඉහළ ගොස් තිබෙනවා. ඒ වගේම ඇතැම් දියුණු රටවල් දේශගුණික විපර්යාසවලට එරෙහිව විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. ඉන්දීයාව, චීනය, ඉන්දුනීසියාව වැනි රටවල් එම ඉලක්කය සපුරා ගැනීමට කාලය අවශ්‍ය බව ප්‍රකාශ කර තිබෙනවා. ඒ වගේම ඛනිජ තෙල් නිෂ්පාදනය කරන රටවල් ද තිබෙනවා.

මේ සියල්ල සමඟ දේශගුණික විපර්යාසවලට මුහුණදීමේ දී ශ්‍රී ලංකාව වැනි කුඩා රටවල් සිරවී සිටිනවා. අපට දැන් ඒ පිළිබඳ නව ක්‍රියාමාර්ග ගැනීමට සිදුව තිබෙනවා. ඒ නිසා පරිසර අමාත්‍යාංශය ආරම්භ කළ සමයේ සිදු කළ වැඩකටයුතුවලට පමණක් අපට දැන් සීමා විය නොහැකියි. මෙම ඉලක්ක කරා ළඟාවීමට නම් අපට නව වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක කිරීමට සිදු වෙනවා. අප එම වැඩකටයුතු දැනටමත් ආරම්භ කර තිබෙනවා. එහි පළමු කාර්යය වන්නේ නව නීති පද්ධතියක් ඇති කිරීමයි. එහි පළමු නීතිය අප දැනටමත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. 2050 වන විට ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචන ඉලක්කය සපුරා ගැනීම පිළිබඳව ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පතේ 3 වන වගන්තියේ ආර්ථික පරිවර්තනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය (අ) II සඳහන් වෙනවා. ඒ අනුව ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචන ඉලක්කය සපුරා ගැනීම පිළිබඳ ජාතික ප්‍රතිපත්තියට ඇතුළත් කළ ආසියාවේ පළමු රට බවට අප පත්ව තිබෙනවා.

රටේ ආර්ථික ඉලක්ක සපුරා ගන්නා අතරම අප මෙම ඉලක්කය ද ළඟා කර ගත යුතුයි. 2050 වන තෙක් නොසිට 2040 වන විට මෙම ඉලක්කය සපුරා ගැනීමට අප අවධානය යොමු කර තිබෙනවා. ඒ අනුව අපි ඉදිරි කටයුතු කරගෙන යනවා. ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත සම්මත වූ පසු එය ජාතික ප්‍රතිපත්තිය බවට පත්වෙනවා. එතැන් සිට සෑම ආයතනයක්ම ඒ අනුව ක්‍රියා කළයුතු වන අතර රාජ්‍ය නොවන අංශයට ද ඒ අනුව කටයුතු කිරීමට සිදුවෙනවා. ඒ වගේම මධ්‍යම පරිසර අධිකාරිය විසින් සකස් කළ පරිසර නීතියේ සංශෝධන සිදු කිරීම අවශ්‍ය වී තිබෙනවා. එම පරිසර නීතිය සකස් කළේ 80 දශකයේදීයි. දැන් වන විට තත්ත්වය ඊට වඩා වෙනස් වී තිබෙනවා. එම සංශෝධන ද ඉදිරියේ දි සිදු කිරීමට අප බලාපොරොත්තු වෙනවා.

විශේෂයෙන්ම දේශගුණික විපර්යාස පනතත්, දේශගුණික විපර්යාස පිළිබඳ මධ්‍යස්ථානය ඇති කරන පනතත් ඉදිරිපත් කිරීමට අප කටයුතු කරනවා. මේ කෙටුම්පත් දෙකම නීතිගත කළ විට ශ්‍රී ලංකාව තුළ පරිසරය පිළිබඳව සහ දේශගුණික විපර්යාස සම්බන්ධ මූලික නීතිමය රාමුවක් ඇති වෙනවා. ඒ වගේම හරිත ආර්ථිකයක් ඇති කිරීම පිළිබඳ මුදල් අමාත්‍යාංශයේ වෙනම ඒකකයක් ස්ථාපිත කිරීමට ද අප සැලසුම් කර තිබෙනවා. හරිත ආර්ථිකයක් වෙනුවෙන් කරන වැඩසටහන් සඳහා මුදල් සොයා ගැනීම එම ඒකකය මඟින් සිදු වෙනවා. මෙම වසර අවසන් වන විට එම සම්පුර්ණ ක්‍රමවේදය ඇති කිරීමට අප බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම දැනට ආරම්භ කර ඇති කෘෂි නවීකරණ වැඩපිළිවෙළ ද මෙම පරිසර ප්‍රතිපත්තිය අනුව ක්‍රියාත්මක කිරීමට අපි උපදෙස් දී තිබෙනවා. එමඟින් කෘෂි නවීකරණ වැඩපිළිවෙළ සමග පරිසර ප්‍රතිපත්තිද ගමට යනවා. එසේනම් එම වැඩකටයුතු අප ජාතික වශයෙන් ක්‍රියාත්මක කරනවා. මුළු ලෝකයම දේශගුණික විපර්යාසවල දැඩි බලපෑමකට ලක්ව තිබෙන මෙවන් අවස්ථාවක ලංකාව වැනි රටකට නිශ්ශබ්දව සිටීමට බැහැ. ඒ නිසා දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවල (COP) මෙන්ම අනෙකුත් ජාත්‍යන්තර වේදිකාවලද පරිසරය වෙනුවෙන් ඉදිරියට පැමිණ කටයුතු කරන ලෙස මා විදේශ කටයුතු අමාත්‍යාංශයට සහ පරිසර අමාත්‍යාංශයට දැනුම් දී තිබෙනවා.

මෙහි ප්‍රධාන කරුණක් ලෙස දේශගුණික විපර්යාස පිළිබඳ විශ්වවිද්‍යාලය ඇති කිරීමට අප පියවර ගෙන තිබෙනවා. ඒ පිළිබඳ රටවල් ගණනාවක් සමග අප සාකච්ඡා කර තිබෙන අතර මෙම විශ්වවිද්‍යාලය ආරම්භ කිරීම වෙනුවෙන් කොත්මලේ ප්‍රදේශයේ අක්කර 600ක භූමි ප්‍රදේශයක් ලබාගෙන තිබෙනවා. ඒ සඳහා වන කෙටුම්පත සැකසීමේ කටයුතු එළැඹෙන මාසයේ දී පමණ අවසන් වු පසු ඊට අදාළ ජාත්‍යන්තර සංවිධාන සමඟ සාකච්ඡා කරනවා. එම වැඩකටයුතු අවසන් වීමෙන් පසු ලබන වසරේ ජූනි මාසයට පෙර එය නීතිගත කිරීමට බලාපොරොත්තු වෙනවා. දේශගුණික විපර්යාසවලට මුහුණදීම පිළිබඳ ජාත්‍යන්තර මට්ටමේ පර්යේෂණ සඳහා අප මෙම විශ්වවිද්‍යාල භාවිතා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම දේශගුණික විපර්යාසවලට මුහුණදීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබා ගැනීමේ දී ගැටළු මතුවී තිබෙනවා. තුන්වන ලෝකයේ රටවල් කියන්නේ ඔවුන්ට මේ සඳහා මුදල් නොමැති බැවින් මුදල් ලබා දෙන ලෙසයි. නමුත් මගේ මතය වන්නේ සෑම රටක්ම එසේ පැවසීම අවශ්‍ය වන්නේ නැහැ. අද ආර්ථික වශයෙන් ගැටළුකාරී තත්ත්වයට මුහුණ දී සිටින ලංකාව පවා එසේ මුදල් ඉල්ලා සිටින්නේ නැහැ.”