වේයන්ගොඩ රජයේ දිසා ගබඩාවේ තැන්පත් කර තිබූ ලෝක ආහාර වැඩසටහනට අයත් සහල්, රටඉඳි සහ පරිප්පු කිලෝ ලක්ෂ 15ක් පමණ දිරාපත් වෙමින් පවතින බව හෙළි වී තිබේ. මෙම ආහාර ද්‍රව්‍ය 2023 වසරේදී දිළිඳු පවුල් සහ පාසල් දරුවන් අතර බෙදා දීම සඳහා ලැබී තිබිණි.
ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලෆ්ෆර් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් මාපලගම මහතා ඇතුළු පිරිසක් පසුගිය 31 වැනිදා සිදු කළ නිරීක්ෂණ චාරිකාවකදී මෙම තත්ත්වය අනාවරණය විය. මෙම ආහාර ද්‍රව්‍ය මිනිස් පරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ පවතින බැවින් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා බව මහජන නියෝජිතයෝ පැවසූහ.
නිලධාරීන්ගේ පැහැදිලි කිරීම් අනුව, 2023 වසරේදී ගබඩාවට ලැබුණු ආහාර ද්‍රව්‍ය කොටසක් පාසල් සිසුන් හා ජනතාව අතර බෙදා දී ඇති අතර, පාසල් නිවාඩු කාලය ආරම්භ වීමත් සමඟ බෙදාහැරීම් කටයුතු නතර වී තිබේ.
නියෝජ්‍ය ඇමැතිවරයා සහ මන්ත්‍රීවරයා විසින් මෙම තත්ත්වය පිළිබඳව ගම්පහ දිස්ත්‍රික් ලේකම් ලලින්ද ගමගේ මහතා දැනුවත් කරන ලදී. දිස්ත්‍රික් ලේකම්වරයා දුරකථනයෙන් මන්ත්‍රී මාපලගම මහතාට පවසා ඇත්තේ රජය අපහසුතාවයට පත්විය හැකි බැවින් මෙම කරුණ මාධ්‍ය වෙත නොයොමු කරන ලෙසයි.
ලේඛන පරීක්ෂාවේදී හෙළි වූ පරිදි දැනට ගබඩාවේ මිනිස් පරිභෝජනයට නුසුදුසු සහල්, පරිප්පු සහ රට ඉඳි මෙට්‍රික් ටොන් 1556ක් ඇත. මෙම අවස්ථාවට අත්තනගල්ල සහකාර පොලිස් අධිකාරී ප්‍රසාද් ප්‍රනාන්දු මහතා ඇතුළු පොලිස් නිලධාරීන් ද සහභාගී වූහ.