ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහි නඩුවේ සාක්ෂිකරුවන් ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු කැබිනට් ඇමතිවරුන්ගේ නම් ඇතුළත් වේ. මෙම නඩුව සඳහා සාක්ෂිකරුවන් ලෙස පුද්ගලයින් 350කට ආසන්න සංඛ්‍යාවක් නම් කර ඇත.
සාක්ෂිකරුවන් අතර හිටපු අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, විජයදාස රාජපක්ෂ, ඩග්ලස් දේවානන්ද, රොෂාන් රණසිංහ යන අය සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඇතුළු වෛද්‍යවරුන්ගේ කණ්ඩායමක් දක්නට ලැබේ. මීට අමතරව, මෙම නඩුව සම්බන්ධව නඩු භාණ්ඩ 300කට ආසන්න සංඛ්‍යාවක් පැමිණිල්ලෙන් ඉදිරිපත් කර ඇත.
කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ, නීතිපතිවරයා විසින් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව අධිචෝදනා ගොනු කර ඇත. මහජන වැදගත්කමක් සහිත මෙම නඩුව විභාග කිරීම සඳහා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කිරීමට නීතිපතිවරයා අගවිනිසුරුවරයාගෙන් පෙර ඉල්ලා සිටියේය.
අගවිනිසුරුවරයා විසින් මහේෂ් වීරමන්, ප්‍රදීප් අබේරත්න සහ අමාලි රණවීර යන විනිසුරුවරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් මෙම නඩුව විභාග කිරීම සඳහා පත් කර ඇත. මෙම විනිසුරු මඩුල්ල ඉදිරියේ නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව අධිචෝදනා ඉදිරිපත් කර ඇත.
මෙම නඩුවේ ප්‍රධාන චෝදනා වන්නේ හියුමන් ඉමියුනොග්ලොබින් සහ රිටොප්සිමැප් වැනි ඖෂධ නොවන ද්‍රව්‍ය කුප්පි 6,195ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සැපයීම සහ රුපියල් ලක්ෂ 1,444ක මහජන මුදල් වංචාවෙන් අයකිරීම සම්බන්ධයෙනි. හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් මුළු චෝදනා 13ක් එල්ල කර ඇත.