හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු රාජපක්ෂවරුන් තිදෙනකුගේ දූෂිත ගනුදෙනු, මුදල් අවභාවිතයන් සහ වත්කම් බැරකම් පිළිබඳව පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලමින්, අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය ඊයේ (22දා) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, ඔහුගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ හිටපු ජනාධිපති බිරිඳ ශිරන්ති රාජපක්ෂ යන මහත්ම මහත්මීන්ට එරෙහිව පරීක්ෂණ සිදුකරන ලෙස ඉල්ලමින් එම පැමිණිල්ල ඉදිරිපත් කරනු ලැබූ බව පුරවැසි බලය සංවිධානයේ සභාපති ජාමුනි කමන්ත තුෂාර මහතා සඳහන් කළේය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පදිංචිව සිටි විජේරාම මාවතේ නිවස අලුත්වැඩියා කිරීම සඳහා රාජ්‍ය මුදල් ලක්ෂ 51,000ක් වියදම් කර තිබීම, නියමිත ප්‍රසම්පාදන ක්‍රියාවලියකට අනුව සිදුකර තිබේද නැතිනම් එය දූෂිතව වැයකර ශ්‍රී ලංකා ජනරජයට පාඩුවක් සිදුකර ඇද්ද යන්න නිසි විමර්ශනයක් සිදුකරන ලෙස පැමිණිල්ල අල්ලස් කොමිසමෙන් ඉල්ලා තිබේ.
එමෙන්ම, හිටපු ජනපති පුත් වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ වත්කම් පිළිබඳ ලබාදී ඇති තොරතුරු සත්‍ය තොරතුරුද නැතහොත් අයථා ඉපැයීම් ද යන්න පිළිබඳව පරීක්ෂණයක් සිදුකරන ලෙසද පැමිණිල්ල ඉල්ලා තිබේ.
එමෙන්ම, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ (මේරි ලුඩිස් වික්‍රමසිංහ) නමට ලක්ෂ 4000ක පමණ නිවසක් (කොළඹ මියුසියස් විදුහල අසල ටොරින්ටන් මාවතේ) හිමිව තිබීමත්, එම නිවස සිරිලිය ගිණුමේ තිබූ රුපියල් ලක්ෂ 350ක් වැය කර මිලදී ගෙන ඇති බවට ඉඩමට අදාළ ලේඛන පරීක්ෂා කිරීමේදී සඳහන්ව ඇතත්, එය දූෂිත
ගනුදෙනුවක් ලෙස පැමිණිලිකාර පාර්ශ්වයට පෙනී යන බැවින් ඒ පිළිබඳව ද නිසි විමර්ශනයක් සිදුකරන ලෙස අල්ලස දූෂණය නාස්තියට එරෙහි ‘පුරවැසි බලය’ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවෙන් ඉල්ලා තිබේ.