මේ මස 27 වැනිදාට යෙදෙන ලෝක සංචාරක දිනය සමගාමීව සංචාරක අමාත්‍යාංශය SLTDA, AATEHM හා SLAITO එක්ව සංවිධානය කරන සංචාරක වෙළෙඳපොළ සහ රැකියා ප්‍රදර්ශනය 27 වැනිදා ‘One Galle Face හිදී ඇරැඹේ.
මෙම ප්‍රදර්ශනය කුටි 75කින් පමණ සමන්විත වේ. සංචාරක නියෝජ්‍ය ඇමැති මහාචාර්ය රුවන් රණසිංහ, ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් ඩේවිඩ් පයින්, SLTDA සභාපති බුද්ධික හේවාවසම්, SLCB හා UNWTO නිලධාරීහු හා ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවෝ රැසක් ද එම සමාරම්භක උළෙලට සහභාගි වෙති.
සැප්තැම්බර් 28 දා ශ්‍රී ලංකා සංචාරක රැකියා සහ වෘත්තීය ප්‍රදර්ශනය කම්කරු ඇමැති මහාචාර්ය අනිල් ජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් One Galle Faceහිදී පැවැත්වේ. එම ප්‍රර්ශනයට ආගන්තුක සත්කාර සහ සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සේවායෝජකයන් සමග රැකියා අපේක්ෂාවෙන් සිටින තරුණ වෘත්තිකයන් සම්බන්ධ කිරීමට නියමිතය. එයට සිසුන් සහ රැකියා බලාපොරොත්තුවෙන් සිටින්නන් සඳහා වන සම්මුඛ සාකච්ඡා, වෘත්තීය මාර්ගෝපදේශ සැසි සහ වැඩමුළු ඇතුළත් වේ.
ඔක්තෝබර් 01 BMICHහිදී 10 වන ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුව (ITRC) පැවැත්වේ. එම සමුළුවට ජාත්‍යන්තර මහාචාර්යවරු සහ විද්වත්හු 30කට අධික පිරිසක් සහභාගි වෙති. සංචාරක නියෝජ්‍ය ඇමැති මහාචාර්ය රුවන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සමුළුව ආරම්භ වේ.
එදිනම සමස්ත ලංකා පාසල් සංචාරක සමාජ තරගාවලියේ අවසන් මහා තරගය SLITHM සහ SLCB සභාපති ධීර හෙට්ටිආරච්චිගේ ප්‍රධානත්වයෙන් වෝටර්ස් එජ්හිදී පැවැත්වේ. පළාත් සියල්ල නියෝජනය කරන අවසන් තරගකරුවෝ 300ක් පමණ ඊට සහභාගි වන අතර ජයග්‍රාහකයන් ලෙස 30දෙනෙක් තෝරා ගැනෙති.
ඔක්තෝබර් 02 විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක ඇමැති විජිත හේරත් මහතාගේ, තානාපතිවරුන්ගේ සහ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ ප්‍රධානත්වයෙන් BMICHහිදී පැවැත්වෙන ජාත්‍යන්තර සංචාරක නායකයන්ගේ සමුළුව (ITLS) සමග සංචාරක දින සැමරුම් අවසන් වේ.