එදා යුද්ධයට බය වූ උතුරේත් දකුණේත් ඇතැම් දේශපාලනඥයින් අද සමගියට බිය වී ඇති බවත්, මේ ආණ්ඩුව සියලු ජාතීන්ට සාධාරණව සලකන ආණ්ඩුවක් බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ අදහස් පළකළේ යාපනය දිස්ත්‍රික්කයේ වේලනයි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කයිට්ස්, කුරිකඩ්ඩුවාන් ජැටිය ප්‍රවේශ මාර්ගය සංවර්ධනය කිරීම නිල වශයෙන් ආරම්භ කරමින් ඊයේ(04) කුරිකඩ්ඩුවාන් මංසන්ධියේ පැවති ජනහමුව අමතමින්.
ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ මෙහෙයවීමෙන්, මාර්ග සංවර්ධන අධිකාරියේ අධීක්‍ෂණයෙන් ක්‍රියාත්මක ‘පුනරුදයට මඟ’ ජාතික වැඩසටහන යටතේ මෙම සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙනවා.
රුපියල් මිලියන 299 ක ශ්‍රී ලංකා රජයේ මූල්‍ය ප්‍රතිපාදන මේ සඳහා වැයකරනු ලබන අතර, මාර්ගයේ ඉදිකිරීම් මාස නවයක කාලයක් ඇතුළත අවසන් කිරීමට නියමිත අතර, ඒ අනුව 2026.07.03 වන දින මාර්ගය ජනතා අයිතියට පත් කිරීමට නියමිතයි.
උතුරේ ආණ්ඩු, කොළඹ ආණ්ඩු කියා එදා දේශපාලනඥයින්, රටේ ජනතාවට සමාන සේවයක් නොකළ බවත්, වත්මන් රජය සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජාතීන්ටත් උතුරු හා දකුණු ලෙස භේදයක් ඇති නොකර සාධාරණ ලෙස සලකන බවත් අමාත්‍යවරයා පැවසුවා.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
දිවයිනේ නන් දෙසින් පැමිණෙන දසදහස් ගණනක් ජනතාව නාගදීපයටත්, කෝවිල්වලටත් යාම සඳහා මෙම ප්‍රවේශ මාර්ගය භාවිත කරනවා. එමෙන් ම දූපත්වල හැමදාම ජීවත්වන ජනතාවක් ද සිටිනවා. ගුරුවරු ඇතුලු රාජ්‍ය නිලධාරීන්ට වගේම පොදු මහජනතාවටත් මාර්ග පහසුකම් අත්‍යාවශ්‍යයි.
සංචාරකයින් ගමනාගමනයේදී මුහුණදුන් අපහසුතා රැසක් මෙම ව්‍යාපෘතිය අවසන්වීමත් සමග අවසන් වෙනවා. ජනතාව බලාපොරොත්තු වන සාධාරණ ඉල්ලීම් රජය ඉටුකර දෙනවා වගේම වගකිවයුතු රජයක් ලෙස සැළසුම් කළ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමටත් කටයුතු කරනවා.
මෙම මාර්ගයේ අත්‍යාවශ්‍යතාව පිළිබඳ දැනුවත් කළේ නාවික හමුදා නිලධාරිවරයෙක්. එම ඉල්ලීම පිළිබඳ දිසාපති, නාවික හමුදාව, මාර්ග සංවර්ධන අධිකාරිය සමග සාකච්ඡා කර එම යෝජනා ද සැලකිල්ලට ගනිමින් මෙම කාර්යය ඇරඹීමට හැකිවුණා. මාර්ග භාවිතයත්, බෝට්ටු සේවාවන් පිළිබඳවත් මෙහිදී අවධානය යොමුකළා.
සංවර්ධනයට නිසි සම්බන්ධීකරණයක් අවශ්‍යයි. අත්‍යවශ්‍ය සේවා සලසාගන්න විදුලිය, බලශක්තිය වගේම ඉහළ සම්බන්ධීකරණයක් අවශ්‍යයි. මෙම ප්‍රවේශ මාර්ගය සංවර්ධනයට සමගාමීව රුපියල් මිලියන 800 ක් වැයකරලා එකවර යාත්‍රා හතක් නවතා තැබිය හැකි ලෙස ජැටිය සංවර්ධනය කරනවා.
එමෙන්ම ප්‍රවේශ මාර්ගය සංවර්ධනය කිරීමට අමතරව කිලෝමීටර් 3.2 ක් වූ ඉතිරි මාර්ග කොටසත් සංවර්ධනය කරනවා. සති අන්තයේ එන බැතිමතුන් ඇතුලු 15,000 කට අධික ජනතාවට අවශ්‍ය යටිතල පහසුකම් සපුරා දීමටත්, වාහන නවතා තැබීමට නව රථගාලක් ස්ථාපිත කිරීමටත් සැලසුම් කර තිබෙනවා.
ජාතික සමගියත්, ආගමික සමගියත් තහවුරු කළ රාජ්‍ය පාලනයක් මගින් භේදයකින් තොරව කරන මෙම සංවර්ධන ක්‍රියාදාමය නිසා එකම ජැටියේ එකම බෝට්ටුවකින් නාගදීපයටත්, අම්මාන් කෝවිලටත් සහජීවනයෙන් ගමන් කළ හැකි යුගයක් නිර්මාණය වී තිබෙනවා.