― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsදකුණු ආසියාවේ දිගම උමඟේ කැණීම් ඇරඹෙයි

දකුණු ආසියාවේ දිගම උමඟේ කැණීම් ඇරඹෙයි

දකුණු ආසියාවේ දිගම උමග ලෙස හැඳින්වෙන, උතුරු මැද පළාත් මහ ඇළෙහි දකුණු උමං ද්වාරයේ කැණීම් දෙවන උමං කැණීම් යන්ත්‍රය (TBM -2) මගින් සිදු කිරීමේ සමාරම්භය වාරිමාර්ග, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා.

පොළොන්නරුව පළාතේ මින්නේරිය කොට්ඨාසයේ ප්‍රධාන සංඝ නායක ධුරන්දර, අත්තනකඩවල බුද්ධගයා මහා විහාරාධිපති, අතිපූජ්‍ය කළත්තෑවේ පඤ්ඤානන්ද නාහිමි ප්‍රධාන වැඩමවා වදාළ ගරුතර මහා සංඝරත්නයේ පිරිත් දේශනා මධ්‍යයේ ඇලහැර, කෝඳුරුවාව වැඩබිම් පරිශ්‍රයේ දී සුබ මොහොතින් අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ එම කැණිම් කටයුතු ආරම්භ කෙරුණු බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

වාරිමාර්ග අමාත්‍යාංශයේ ‘මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන’ යටතේ ආසියානු බැංකු ණය ආධාර යටතේ ක්‍රියාත්මක, කිලෝමීටර් 28ක දිගින් යුත් මෙම උමං මාර්ගය දකුණු ආසියාවේ දිගම උමග ලෙස හැඳින්වෙනවා.

මෙම ව්‍යාපෘතිය සඳහා රජය වැය කරන සම්පූර්ණ මුදල රුපියල් මිලියන 65,000 ක්. උමං ව්‍යාපෘතියේ උතුරු ද්වාරයේ උමඟේ කැණීම් කටයුතු 2021 වසරේ අනුරාධපුර, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මහමීගස්වැව ගම්මානය ආශ්‍රිත ව ආරම්භ කෙරුණා.

ඒ අනුව පළමු උමං කැණිම් යන්ත්‍ර (TBM – 1) මගින් කිලෝමීටර් 4ක පමණ දුරක් කැණීම් කර අවසන් අතර මේ වනවිට අඛණ්ඩ ව කැණීම් කටයුතු සිදු කරමින් පවතින බවත් වාර්තා වනවා. මෙම උමග මාතලේ දිස්තික්කයේ ඇළහැර, මොරගහකන්ද ජලාශයෙන් ආරම්භ වී පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඇළහැර – ගිරිතලේ අභයභූමිය, මින්නේරිය – ගිරිතලේ රක්ෂිතය හා හුරුළු රක්ෂිතය හරහා අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහකනදරාව වැව දක්වා ජලය ගෙනයාම සඳහා ඉදිකෙරෙන පෝෂිත ඇළ මාර්ගයක් වන අතර ව්‍යාපෘතිය මගින් ඉදිකෙරෙන සම්පූර්ණ ඇළෙහි දිග කි.මී.93 ක්.

මෙමගින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ හුරුළුවැව, මානන්කට්ටිය වැව, ඒරු වැව හා මහකනදරාව, නාච්චදූව, තිසා වැව, නුවර වැව යන වැව්වලට අඛණ්ඩ ව වාරි ජල සැපයිමක් ලබා දී, එම වැව් නිසි ලෙස පෝෂණය කිරීම හා මහවැලි පද්ධතිය තුළ දැනට ජල හිඟයෙන් පීඩා විඳින ගොඩබිම් යල සහ මහ දෙකන්නයේම වගා කිරීමටත් ප්‍රතිලාභී ගොවි ජනතාවද ඇතුළුව පවුල් 25,000කට පමණ පානීය සහ වාරි ජල පහසුකම් ලබාදීමටත් අපේක්ෂා කෙරෙනු ඇති.

මෙහි ප්‍රධාන කොන්ත්‍රාත් සමාගම ලෙස ‘China Estate Construction ‘ සමාගම’ කටයුතු කරනු ලබන අතර සම්පූර්ණ උමගේ කැණීම් කටයුතු 2026 වර්ෂයේ දී අවසන් කිරීමට නියමිත ව තිබෙනවා.