ක්‍රියාත්මක කරනු ලැබූ ටෙන්ඩර් පටිපාටියට අනුකූලව ගල් අඟුරු ගෙන්වා ගැනීමට නොහැකි වුවහොත් රටේ නැවත වතාවක් විදුලිය සැපයීම පිළිබඳව අවිනිශ්චිතතාවයක් ඇතිවිය හැකි බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසීය.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (08) පාර් ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.
උද්ගතව ඇති තත්ත්වය හමුවේ ටෙන්ඩර් ක්‍රමවේදය හරහා ගල් අඟුරු සැපයීමට එකඟව සිටි සමාගම ඒ සඳහා ඉදිරිපත් වීමට මේ වනවිට මැලිකමක් දක්වන බව අමාත්‍යවරයා එහිදී කියා සිටියේය.
“ගල් අඟුරු නැතුව ඉන්න බෑ අපිට මාස 6ක් 7ක්, ඔක්තෝබර් 15 වෙනිදා වෙනකල් විතරයි බලාගාරවලට දැන් තියෙන ගල් අඟුරු ටික තියෙන්නේ, ඊළඟ ප්‍රසම්පාදන කටයුතුවලට ගියේ නැත්නම් අපිට ගැටලුවකට මුහුණදෙන්න සිද්ධවෙනවා, මම ඔබතුමියගෙන් ඉල්ලීමක් කරනවා කථානායකතුමාව දැනුවත් කරලා. මේක රටේ ව්‍යසනයක් ඇතිවිය හැකි තත්ත්වයක්, ගල් අඟුරු රටේ නෑ කියන්නේ නැවත වතාවක් විදුලි කප්පාදුව පැය 7ක 8ක කාලයක් සිදුකරන්න වෙයි කියන්නේ රටේ නැවත වතාවක් අවිනිශ්චිතතාවයක් ඇතිකරන ස්වභාවයක්.“


