― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalකිසිදු පුරවැසියෙක් ආහාර නොමැතිකම නිසා කුසගින්නේ නොතැබිය යුතුයි

කිසිදු පුරවැසියෙක් ආහාර නොමැතිකම නිසා කුසගින්නේ නොතැබිය යුතුයි

‘කිසිදු පුරවැසියෙක් ආහාර නොමැතිකම නිසා කුසගින්නේ නොතැබිය යුතුය’ සහ ‘කිසිදු දරුවෙක් මන්දපෝෂණ තත්ත්වයට ගොදුරු නොවිය යුතුය’ යන මූලික දැක්ම පදනම් කර ගනිමින් ඊයේ (13) ආහාර සුරක්ෂිතතා වැඩසටහනක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කළේය.

මතුවිය හැකි ඕනෑම අර්බුදකාරී අවස්ථාවක වුවද ජනතාවට සෞඛ්‍ය සම්පන්න ආහාර ලබා ගැනීමට හැකි සමාජ ආර්ථික පරිසරයක් තහවුරු කිරීම මෙමගින් අපේක්ෂා කරන බව ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.

අදාළ යාන්ත්‍රණය කමිටු හතක් හරහා ක්‍රියාවට නංවා තිබෙන අතර ජනාධිපතිවරයාගේ සභාපතිත්වය යටතේ ජාතික ආහාර සුරක්ෂිත හා පෝෂණ සභාව ක්‍රියාත්මක වේ.

ආහාර සුරක්ෂිතාව හා පෝෂණය පිළිබඳ ජාතික ඒකාබද්ධ යාන්ත්‍රණය ජනාධිපති ලේකම්වරයාගේ සභාපතීත්වයෙන් ක්‍රියාත්මක අතර ආහාර සුරක්ෂිතතාව හා තාක්ෂණික උපදේශක කමිටුව අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් ක්‍රියාත්මකය.

ආහාර සුරක්ෂිතතාව හා පළාත් ඒකාබද්ධ යාන්ත්‍රණය පළාත් ආණ්ඩුකාරවරුන්ගේ සභාපතිත්වයෙන් ක්‍රියාත්මක වන අතර දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සභාපතිත්වයෙන් ආහාර සුරක්ෂිතතාව හා පෝෂණය පිළිබඳ දිස්ත්‍රික් ඒකාබද්ධ යාන්ත්‍රණය ක්‍රියාත්මක වේ.

ආහාර සුරක්ෂිතතාව හා පෝෂණය පිළිබඳ ප්‍රාදේශිය ඒකාබද්ධ යාන්ත්‍රණය ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සභාපතිත්වයෙන් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ග්‍රාම නිලධාරි වසම් 14,022 හි ග්‍රාම නිලධාරී, සංවර්ධන නිලධාරී, කෘෂිකර්ම පරීක්ෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරී, සමෘද්ධි නියාමක, පවුල් සෞඛ්‍ය සේවිකා, ළඟම පාසලේ විදුහල්පති සහ පළාත් පාලන ආයතනයේ නියෝජිතයින් දෙදෙනෙකුගෙන් සමන්විත ආර්ථික පුනර්ජීවන හා ආහාර සුරක්ෂිතතා කමිටු පිහිටුවා එමගින් ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් ආර්ථික පුනර්ජීවයක් ඇති කොට දරිද්‍රතාව පිටුදැකීම, මන්දපෝෂණයෙන් දරුවන් මුදා ගැනීම, ප්‍රදේශයේ ආහාර සුරක්ෂිතතාව මෙන්ම ජීවන තත්ත්වය ඉහළ නංවා ගැනීමට මෙම යාන්ත්‍රණයෙන් කටයුතු කරන බව ජනාධිපති කාර්යාලය පවසයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත, ජාතික ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ජනාධිපති උපදේශක ආචාර්ය සුරේන් බටගොඩ මහතාගේ මගපෙන්වීමෙන් ක්‍රියාත්මක මෙම වැඩසටහනට අග්‍රාමාත්‍යවරයා සහ ජනාධිපති ලේකම්වරයාගේ සිට ග්‍රාම නිලධාරී මට්ටම දක්වා සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයත්, පෞද්ගලික අංශය, රාජ්‍ය නොවන සංවිධාන, වෘත්තිකයන්, ආගමික නායකයන් සම්බන්ධ කර ගෙන තිබේ.

රටට අවශ්‍ය සමස්ත සහල් අවශතාවය වන මෙට්‍රික් ටොන් දසලක්ෂ 3.6ක් නිෂ්පාදනය කිරීම, වාර්ෂික ලොකු ලූනු අවශ්‍යතාවයෙන් 50%ක් රට තුළම නිපදවීමටත්, අර්තාපල් අවශ්‍යතාවයෙන් 35% ක් දේශීයව නිෂ්පාදනය කිරීමටත් මෙමගින් සැලසුම් කර ඇත.

වාර්ෂික සෝයා අවශ්‍යතාව වන මෙට්‍රික් ටොන් 250,000න් 20%ක් 2025 වසර වන විට මෙරටදී නිෂ්පාදනය කිරීමට සැලසුම් කිරීම, වියලි මිරිස් අවශ්‍යතාවයෙන් 20%ක් 2025 වන විට දේශීයව නිෂ්පාදනය කිරීම, 2025 වන විට කුරක්කන්, මුං ඇට, කව්පි, තල හා රටකජු සම්පූර් ණ අවශ්‍යතාවය දේශීයව නිෂ්පාදනය කිරීමටත් මෙමගින් අපේක්ෂා කෙරේ.

බිත්තර හා කුකුළු මස් වැනි පශු සම්පත් සංවර්ධනයට වාර්ෂික අවශ්‍ය වන බඩ ඉරිඟු මෙට්‍රික් ටොන් 650,000න් 80%ක් මේ වසර තුළ නිෂ්පාදනය කිරීමට සැලසුම් කර ඇත. 2025 වන විට ශ්‍රී ලංකාවට අවශ්‍ය වන සමස්ත බඩ ඉරිඟු ප්‍රමාණය දේශීයව වගා කිරීමට බලාපොරොත්තු වේ.

මහ කන්නයේ වී සහ බඩ ඉරිඟු නිෂ්පාදනය කිරිම සඳහා අවශ්‍ය යූරියා මෙට්‍රික් ටොන් 230,000ක්, TSP මෙට්‍රික් ටොන් ලක්ෂයක් සහ MOP මෙට්‍රික් ටොන් 182,000ක් ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව හා ඉන්දියානු ණය ක්‍රමය යටතේ ආනයනය කිරීමටත් අනෙකුත් ආහාර භෝග නිෂ්පාදනයට අවශ්‍ය පොහොර පෞද්ගලික අංශයේ දායකත්වයෙන් ආනයනය කිරීමටත් මේ වන විට කඩිනම් පියවර ගෙන තිබේ.

කෘෂි රසායනික හා කාබනික පොහොර හිඟයකින් තොරව වෙළඳපොළෙන් මිලදී ගැනීමට පහසුකම් සපයා දීමට නියමිතය අතර යූරියා කිලෝ ග්‍රෑම් 50ක මිටියක් දැනට පවතින වෙළඳපොළ මිලට වඩා අඩු සාධාරණ මිලකට ලබාදීමට සැලසුම් කර ඇත.

2022 මහ කන්නය සාර්ථක කර ගැනිමට අවශ්‍ය රසායනික පොහොර, කාබනික පොහොර, කෘෂි රසායනික ද්‍රව්‍ය හා බීජ නිසි කලට වෙළඳපොළ හරහා ගොවීන්ට සැපයීමේ යාන්ත්‍රණය මේ වන විටත් රජය ආරම්භ කර තිබෙන බව ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.

කෘෂිකාර්මික හා පශු සම්පත් අංශයේ නිෂ්පාදන 2018 වර්ෂයේ නිෂ්පාදන මට්ටමට ගෙන ඒමට සැලසුම් කර ඇති අතර ඊට අවශ්‍ය බීජ, රසායනික ද්‍රව්‍ය, රසායනික පොහොර සත්ව ආහාර හා ඉන්ධන ඇතුළු කෘෂිකාර්මික යෙදවුම් ප්‍රමාණවත් පරිදි ලබාදීම සිදු කරන බවද ජනාධිපති කාර්යාලය කියයි.

මෙම නිෂ්පාදන ඉලක්ක ළඟා කර ගැනීම සඳහා නූතන දියුණු වාරි ක්‍රම හා තාක්ෂණය භාවිත කිරීමට සැලසුම් කර ඇත.

පොහොර යෙදීම සඳහා රජයේ සංකල්පය ප්‍රචලිත කිරීමට සැලසුම් කර ඇති අතර එමගින් නිෂ්පාදන ඵලදායිතාව වර්ධනය කර ගැනීමට බලාපොරොත්තු වේ.