හින්දු භක්තිකයින් උත්සවශ්‍රියෙන් සමරන තෛපොංගල් දිනය අදට (14) යෙදී තිබේ.
තෛපොංගල් යන්නෙහි අරුත ‘අස්වනු නෙළීමේ උත්සවය’ යන්නයි. කෘෂිකර්මාන්තයෙන් ලබාගත් පළමු අස්වැන්න සූර්යයාට පූජා කරමින් අස්වැන්න සරු වීමට කෘතගුණ දැක්වීම මෙහිදි සිදුකෙරේ.
අදට යෙදෙන තෛපොංගල් දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පවසන්නේ හරිත කෘෂිකර්මයක් සඳහා වන ජාතික ප්‍රතිපත්තිය සාර්ථක කර ගැනීමට තෛපොංගල් සමය දැඩි උද්යෝගයක් සපයන බවයි.
එය බහුතර ශ්‍රී ලාංකිකයින්ගේ අපේක්ෂාව වන බවත් හින්දු බැතිමතුන්ගේ චාරිත්‍ර ශ්‍රී ලාංකික ජන සමාජයට අනාදිමත් කාලයක සිට ඉතා සමීප බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ තෛපොංගල් දින පණිවුඩයෙන් සඳහන් කරන්නේ සෞභාග්‍යමත් දේශයක් ලෙස ලොවට පිය නැගීම සඳහා තෛපොංගල් දින අර්ථයන් මහඟු පිටුබලයක් වනු ඇති බවයි.
කෘතගුණ සලකන සමාජයක් තුළ නැවුම් බලාපොරොත්තු සඵල වනු ඇති බවත් තෛපොංගල් වැනි උතුම් දිනයක ඇති සමාජ අර්ථය ජීවිතයට ළඟා කර ගනිමින් සියලු දෙනා පෙරට පැමිණිය යුතු බවත් අග්‍රාමාත්‍යවරයාගේ සුබපැතුම් පණිවුඩයේ වැඩිදුරටත් දැක්වෙයි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සිය තෛපොංගල් දින පණිවුඩයෙන් සඳහන් කළේ මිනිස් වර්ගයා අතර සුහදශීලි දිවි පෙවෙතක් වෙනුවෙන් රුකුල් දෙන තෛපොංගල් වැනි උත්සවයන්හි අර්ථාන්විත වටිනාකම සුළුපටු නොවන බවයි. සොබාදහමට වඩ වඩාත් සමීප වීමේ අවශ්‍යතාවය මේ වකවානුවේ දැඩිව දැනෙමින් පවතින බවත් ඔහු ප්‍රකාශ කරයි.