― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsදුම්රිය සේවය පවත්වාගෙන යෑමට එකිනෙකාට චෝදනා නොකර, නිසි ක්‍රමවේදයක් සැකසීම අත්‍යවශ්‍යයි

දුම්රිය සේවය පවත්වාගෙන යෑමට එකිනෙකාට චෝදනා නොකර, නිසි ක්‍රමවේදයක් සැකසීම අත්‍යවශ්‍යයි

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් පසුගිය දිනවල උද්ගත වූ ගැටලුකාරී තත්ත්වයන් සහ මාධ්‍ය ඔස්සේ පළ වූ ඇතැම් වාර්තාවන් පිළිබඳවත්, දෙපාර්තමේන්තුවේ වත්මන් තත්ත්වය පිළිබඳව ඊට සම්බන්ධ සියලු පාර්ශ්වයන්ගේ සහභාගිත්වයෙන් විශේෂ සාකච්ඡාවක් ප්‍රවාහන මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමා විසින් කැඳවා තිබුණි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“ඉතිහාසය පුරා දුම්රිය දෙපාර්තමේන්තුව මුහුණ දී තිබූ ගැටලුලු රාශියක් එකිනෙක නිරාකරණය කරමින් එය වඩාත් ඵලදායි සේවාවක් බවට පත් කිරීමේ කාර්යය විෂයභාර අමාත්‍යවරයා ලෙස මමත්, අමාත්‍යංශ ලේකම්වරයා ඇතුළු සියලුම කාර්ය මණ්ඩලයත් ක්‍රමානුකූලව සිදු කරමින් පවතිනවා.

දුම්රිය සේවාව පවත්වාගෙන යෑමට සක්‍රීයව දායක වන පිරිස ලෙස දුම්රිය නියාමක, ආරක්ෂක, ස්ථානාධිපතිවරුන් ඇතුළු සියලුම දෙනාත් ඒ සඳහා සිය උපරිම දායකත්වය ලබාදීම මේ මොහොතේ අත්‍යවශ්‍ය කරුණක්.

දීර්ඝ කාලයක් තිස්සේ ගැටලුවක්ව පැවති දුම්රිය කම්කරු ශ්‍රේණිය සඳහා 2400ක පිරිසක් එකවර ඇතුළත් කර ගැනීමේ හැකියාව අපට ලැබුණා.

රට තුළ පවතින වත්මන් ගැටලුකාරී තත්ත්වය හමුවේ වුවත් එය අප ලැබූ සුවිශාල ජයග්‍රහණයක්.

එසේම දුම්රිය ස්ථානාධිපතිවරුන් 44ක පිරිසකටද පසුගියදා නව පත්වීම් ලබා දුන්නා.

මෙලෙස පවතින ගැටලු එකින් එක නිරාකරණය කරගෙන යමින් පවතින මොහොතක අප සියලු දෙනාටමත් ඒ වෙනුවෙන් විශාල වගකීමක් පැවරෙනවා.

විශේෂයෙන්ම දුම්රිය රියදුරන් 458ක පිරිසක් සේවාව පවත්වාගෙන යෑම සඳහා අවශ්‍යව පැවතුණත් මේ මොහොතේ සේවයේ නිරතව සිටින්නේ 279ක පිරිසක්.

එසේම සෑම වසරකම දුම්රිය රියදුරන් දස දෙනකු පමණ විශ්‍රාම ගැනීම සිදුවනවා.

මේ පිළිබඳව විශේෂ අවධානය යොමු කරමින් දෛනිකව සිදුවන 390ක පමණ දුම්රිය ගමන් වාර ප්‍රමාණයක් අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා විශේෂ ක්‍රමවේදයක් සකස් කිරීම සඳහා සියලු දෙනාගේම අදහස් හා යෝජනා ලබා ගනිමින් කටයුතු කරන්නට අප බලාපොරොත්තු වනවා.

දුම්රිය සේවය කාර්යක්ෂමව පවත්වාගෙන යෑම සඳහා වෘත්තීය සමිති, පරිපාලනය එකිනෙකාට චෝදනා නොකර සියල්ලන්ගේ එකඟතාවෙන් නිසි ක්‍රමවේදයක් සැකසීම මේ මොහොතේ අත්‍යවශ්‍යයි”

ඒ අනුව පවතින දුම්රිය ගමන් වාර හා කාල සටහන් යළි සමාලෝචනයක් සිදු කර ජාත්‍යන්තරව පවතින නීතිරීති හා ක්‍රමවේදයන් ද සැලකිල්ලට ගනිමින් දුම්රිය රියදුරන්ගේ ධාවන කාලයේ අවශ්‍ය සංශෝධන සිදුකිරීම, වයස අවුරුදු 60 /63 සම්පූර්ණ කර විශ්‍රාම යෑමට ආසන්නව සිටින පළපුරුදු රියදුරන් කොන්ත්‍රාත් පදනමක් මත හෝ සේවා දීර්ඝ කිරීමේ වැඩපිළිවෙළක් යටතේ තවදුරටත් සේවයේ යොදවා ගැනීමේ හැකියාව පිළිබඳව කරුණු සොයා බැලීම ඇතුළු කරුණු රැසක් පිළිබඳව ද මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු විය.

ඒ සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවේ පරිපාලන අංශය, සියලුම කාර්ය මණ්ඩලය නියෝජනය වන වෘත්තිය සමිති, ඇතුළු සියලු දෙනාගේම අදහස් හා යෝජනා ලබා ගනිමින් සියලුම දෙනාගේ එකඟතාවයෙන් යුතු වැඩපිළිවෙළක් කඩිනමින් සකස් කර පවතින වාතාවරණය තුළ වඩාත් යහපත් සේවාවක් ලබාදීමට මෙන්ම සේවක සුරක්ෂිතතාවය තහවුරු කිරීමට කටයුතු කරන බවත්, මේ මොහොතේ යම් යම් පාර්ශවයන්ගේ පෞද්ගලික අරමුණු ඉටුකිරීමට කටයුතු නොකර ආයතනයේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කිරීම සියලු දෙනාගේම වගකීමක් වන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

එසේම මීට අනුගත නොවී වෙනත් අරමුණු ඔස්සේ ක්‍රියාත්මක වෙමින් නීතියට පටහැනි වන ආකාරයේ ක්‍රියා වල නිරත වන ඕනෑම අයෙකු සම්බන්ධයෙන් තරාතිරම නොබලා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවන බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.

ඕනෑම අවස්ථාවක ඕනෑම තරාතිරමක නිලධාරියෙකුට, වෘත්තිය සමිතියකට පවතින ඕනෑම ගැටලුවක් පිළිබඳව සාකච්ඡා කර ඊට විසඳුම් ලබාදීමට විෂය භාර අමාත්‍යවරයා ලෙස තමාත්, අමාත්‍යංශ ලේකම් තුමා, දුම්රිය සාමාන්‍ය අධිකාරි තුමා ඇතුළු නිලධාරීන් සෑම විටකම සූදානමින් සිටින බවත්, දුම්රිය සේවය හෝ අමාත්‍යංශයේ ඉදිරි වැඩපිළිවෙළට බාධා වන ආකාරයේ ක්‍රියාමාර්ග වලට නොගොස් රටේ වටිනා සම්පතක් වූ වන දුම්රිය සේවය අනාගත පරපුරට දායාද කිරීමට එක්ව කටයුතු කරන්නට අත්වැල් බැඳ ගන්නා ලෙස අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.