ඇමැති මහින්ද අමරවීර
ගුරුභවතුන්ගේ ගෞරවය සුරැකෙන පරිදි සාධාරණය ඉටු කරමින් වැටුප් ප්‍රශ්නය විසඳීමට රජය පියවර ගන්නා බව පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා පවසයි.
ඇමැතිවරයා මේ බව පැවැසුවේ ගුරු වැටුප් විසඳීමට පත් කරන ලද ඇමැති අනු කමිටුව රජයට ඉදිරිපත් කෙරෙන වාර්තාව සම්බන්ධයෙන් සිදු කළ විමසීමකදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ ද කීය.
“ගුරු සංගම් මෙන්ම මුදල් ඇමැතිවරයා ඇතුළු නිලධාරීන් සමඟ ද සාකච්ඡා කර ඇමති අනු කමිටුවේ වාර්තාව ලබන සතියේ ඇමැති මණ්ඩලයට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරනවා.
ගුරුභවතුන්ගේ වැටුප් ගැටලුව සම්බන්ධයෙන් රජය පත් කළ ඇමැති අනු කමිටුව පසුගිය දින කිහිපයේ අමාත්‍යාංශ මට්ටමින් සාකච්ඡා කර අවශ්‍ය සියලුම තොරතුරු ගත්තා. ඒ වගේම ඒවා අධ්‍යයනය කළා. ගුරු සංගම් කිහිපයක් ද හමු වුණා. ඒ වගේම අද (17) සහ හෙට (18) තවත් සංගම් කිහිපයක් අවසන් වශයෙන් හමු වී සාකච්ඡා කරනවා. එමෙන්ම මුදල් ඇමැතිවරයා ඇතුළු නිලධාරීන් සමඟ සාකච්ඡා කර ඒ නිර්දේශත් ඊළඟ සතියේ ඇමැති මණ්ඩලයට ඉදිරිපත් කරනවා.
ගුරුභවතුන්ගේ ගෞරවය සුරැකෙන පරිදි, ඒ අයට යහපත් මානසිකත්වයකින් ඉගැන්වීමේ කටයුතු කිරීමට අවශ්‍ය වාතාවරණය අප සලසනවා. ගුරු සංගම්වලින් විවිධ යෝජනා ඉදිරිපත් කළා. නමුත් රටේ පවතින වාතාවරණය අනුව අපට යම් යම් තීරණ ගැනීමේ අපහසුතා තිබෙනවා. කොහොම නමුත් ගුරුභවතුන්ගේ ඉල්ලීම්වලට සාධාරණය ඉටු කර දීමට රජය වශයෙන් අප ගත හැකි සියලුම පියවර ගන්නවා.”
බුද්ධිකා ඉඹුලාන