තලෙයිබාන් සංවිධානය ඇෆ්ගනිස්තානය අත්පත් කරගැනීමෙන් පසු දශක ගණනක් පුරා එරට පැවැති යුද උණුසුම පහ වී ඇතැයි වාර්තා වූවද, ඉන්දියාවේ ජම්මු කාශ්මීර් ප්‍රාන්තයේ යුද උණුසුම තවමත් ඇදි ඇදී යමින් තිබේ. මීට වසර තුනකට පෙර එනම්. 2018 ජූනි මාසයේ 29 වැනිදා ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් කාශ්මීර් ප්‍රාන්තයට දී තිබූ විශේෂිත තත්ත්වය ඉවත් කිරීමෙන් කරමින් යටිතල පහසුකම් සංවර්ධනයට විශාල වශයෙන් ප්‍රතිපාදන වෙන් කළද, එහි නොසන්සුන්තාව මෙතෙක් පහවී ගොස් නැත.
එය තහවුරු කරමින් අමෙරිකාව ඊයේ පෙරේදා ඉන්දියාවේ සංචාරය කරන අමෙරිකා ජාතිකයන්ට අවවාද කර සිටියේ පවතින පසුබිම මත ජම්මු කාශ්මීරයේ සංචාරය නොකරන ලෙසටය. විශේෂයෙන් නැගෙනහිර ලඩාක් සහ ජම්මු කාශ්මීර ප්‍රාන්තයේ ලේහ් අගනුවර සංචාරය නොකරන ලෙස සිය පුරවැසියන්ගෙන් අමෙරිකාව ඉල්ලා සිටියේ සිවිල් නොසන්සුතාව සහ ත්‍රස්ත ක්‍රියාකාරකම් සැලකිල්ලට ගනිමිනි.
ඉන්දීය රුපියල් කෝටි ගණනින් මුදල් වැය කරමින් ඉන්දීය මධ්‍යම රජය ජම්මු කාශ්මීරයේ දැවැන්ත සංවර්ධන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනු ලැබුවේ මේ අතරතුරදීය. එම ප්‍රාන්තයේ තරුණ තරුණියන් නීති විරෝධී කටයුතු සඳහා යොමුවීම මඟ හරවා ගැනීමටත්, කාන්තාවන්ගේ ස්වයං රැකියා උත්පාදනය ඉහළ දැමීමටත් පියවර රැසක් ගනිමින් කෘෂිකාර්මික ක්ෂේත්‍රයට වැඩි අවධානයක් යොමු කරමින් එම ප්‍රාන්තයේ ජන ජීවිත ඉහළට ඔසවා තැබීමේ අරමුණින් ක්‍රියාත්මක වන මේ සංවර්ධන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර තිබේ.
ජම්මු කාශ්මීර් ප්‍රාන්තයට බලපෑ ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 370 වැනි වගන්තිය 2018දී ඉවත් කිරීමෙන් පසු වසරක කාලයක් ඇතුළත එනම්. 2019 අගෝස්තු 4 වැනිදා දක්වා කාලය තුළදී ජම්මු කාශ්මීර් ප්‍රාන්තයේ ත්‍රස්ත ක්‍රියාකාරකම් 455ක් වාර්තා වූ බව ඉන්දීය පුවත්පත් වාර්තා කර තිබිණි. එසේ වුවත් පසුගිය වසරේ එනම් 2020 අගෝස්තු 5 වැනිදා වන විට එම සිදුවීම් සංඛ්‍යාව 211 දක්වා අඩු වී තිබූ බව ද එම වාර්තා පෙන්වා දෙයි.
එම ප්‍රාන්තයේ තරුණයන් ත්‍රස්ත සංවිධාන හා නීති විරෝධී කටයුතු සඳහා යොමුවීම මේ වනවිට 40% කින් අඩු වී ඇති අතර, ත්‍රස්ත ක්‍රියාකාරකම් ද සැලකිය යුතු අන්දමින් පාලනය වී ඇතැයි ජම්මු කාශ්මීර් ප්‍රාන්ත බලධාරිහු පවසති. වසර 2019 ජනවාරි 1 වැනිදා සිට එම වසරේ ජූලි 15 දක්වා කාලය අතරතුර එම ප්‍රාන්තයෙන් වාර්තා වූ ත්‍රස්ත සිදුවීම් 188 වසර 2020 වන විට 120 දක්වා පහත වැටී ඇතැයි ද ඉන්දීය පුවත්පත් වාර්තා කර තිබිණි.
එහෙත් කාශ්මීර් ප්‍රාන්තයට ස්වයං පාලනයක් දීමෙන් ඉන්දීය රජය අපේක්ෂා කළ සංවර්ධනය හා ප්‍රගතිය ඒ අයුරින්ම සාක්ෂාත් කරගැනීමට මෙතෙක් සමත්වී නැත. 1947 වසරේදී එවකට ඉන්දීය උප මහාද්වීපය බෙදා වෙන් කිරීමෙන් පසු මුස්ලිම් ජාතිකයන් බහුතරයක් පදිංචිව සිටි පළාත් පාකිස්තානයට හිමිවූවද ඔවුන් බලාපොරොත්තු වූ ජම්මු කාශ්මීරයේ පාලනය ඉන්දීයාව සතු විය. මුස්ලිම් ජාතිකයන්ගේ පළාතක් වන ජම්මු කාශ්මීරයේ පාලනය ඉන්දියාව සතුවීමෙන් පසු මේ දක්වා එම ප්‍රාන්තය තුළ ත්‍රස්ත ක්‍රියාකාරකම් සිදුවෙමින් පවතින්නේ ඉන්දීය රජයට අභියෝග කරමිනි.ලොව වඩාත්ම හමුදාකරණයට ලක්වූ ප්‍රාන්තයක් ලෙස බටහිර මාධ්‍යය විසින් හඳුන්වනු ලබන ජම්මු කාශ්මීර ප්‍රාන්තය ඉන්දියාව සහ පාකිස්තානය සම්ප්‍රදායික පසමිතුරන් බවට පත් කිරීමේ ප්‍රධානතම සාධකය ද වී තිබිණි.
එහෙත් 1949දී එම ප්‍රාන්තයට ස්වයංපාලන අයිතිය ලබාදෙමින් ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 370 වගන්තිය ඇතුළත් කරනු ලැබුවද ප්‍රාන්තයේ යුද උණුසුම අඩු නොවීය. එම වගන්තියට අනුව ජම්මු කාශ්මීර් ප්‍රාන්තයට වෙනම ව්‍යවස්ථාවක්, වෙනම ජාතික ධජයක් භාවිත කිරීමට අයිතිය ලැබී තිබූ අතර, විදේශ සබඳතා, ආරක්ෂාව සහ සන්නිවේදනය හැර සෙසු කටයුතුවලදී ස්වාධීනව ක්‍රියාත්මක වීමට ද අවසර ලැබිණි. එවැනි පසුබිමක් යටතේ වුවද එම ප්‍රාන්තයේ ත්‍රස්ත ක්‍රියාකාරකම් බහුලව සිදුවූ අතර, ඒවා මැඬ පැවැත්වීමට ජම්මු කාශ්මීර පාලකයෝ සමත් නොවූහ.
දශක 60කට ආසන්න කාලයකට පසු ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවෙන් 370 වැනි වගන්තිය ඉවත් කර එහි කටයුතු මධ්‍යම රජයට පවරා ගැනීමට ඉන්දියාව කටයුතු කරනු ලැබුවේ තව දුරටත් එම ප්‍රාන්තයේ ජනතාවට පීඩනයෙන් හා දරිද්‍රතාවයෙන් යුතුව ජීවත්වීමට ඉඩ දිය නොහැකි බැවිනි.
ජම්මු කාශ්මීර් ප්‍රාන්තයේ විශේෂිත තත්ත්වය ඉවත් කිරීමෙන් පසු එම ප්‍රාන්තය තුළ ආරම්භ කළ දැවැන්ත සංවර්ධන වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙමින් තිබියදී ත්‍රස්ත සිදුවීම් මැඬ පැවැත්වීමට එරට රජය වෙනම මෙහෙයුමක් ආරම්භ කරනු ලැබුවේ එබැවිනි. වසර 2019 ජනවාරි 1 වැනිදා සිට ජූලි මාසයේ 15 දක්වා ගතවූ කාලයේදී එම ප්‍රාන්තයේ ත්‍රස්තවාදීන් 126 දෙනකු ඝාතනයට ලක්වූ අතර, වසර 2020දී තවත් ත්‍රස්තවාදීන් 136 දෙනකු ඝාතනය වී තිබිණි. එහෙත් එම කාලය ඇතුළත ත්‍රස්තවාදීන් ග්‍රෙනේඩ් බෝම්බ ප්‍රහාර 51ක් එල්ල කර තිබිණි.
ත්‍රස්ත විරෝධී මෙහෙයුම් ආරම්භ කරමින් ජම්මු කාශ්මීර් ප්‍රාන්තයේ ත්‍රස්ත බිය දුරු කිරීමට ඉන්දීය රජය ගත් ක්‍රියාමාර්ග අඛණ්ඩව සිදුවූ අතර, 2020 වන විට ත්‍රස්ත බෝම්බ ප්‍රහාර සංඛ්‍යාව 21 දක්වා අවම කිරීමට සමත් වී තිබිණි.
ජම්මු කාශ්මීර ප්‍රාන්තයේ ක්‍රියාත්මක වන මුජාහිඩීන්, ලෂ්කර් ඊ තයිබා සහ ජයිෂා ඊ මොහම්මඩ් ත්‍රස්ත සංවිධාන ගතවූ වසර දෙකක කාලය ඇතුළත සිවිල් පුරවැසියන් සහ ආරක්ෂක නිලධාරීන් 110කට වැඩි ප්‍රමාණයක් ඝාතනය කළ අතර, මෙම තත්ත්වය තුළ එම ප්‍රාන්තයේ සංවර්ධනයට ඉන්දීය මධ්‍යම රජය ආරම්භ කළ ව්‍යාපෘති ගණනාවක් දැඩි අභියෝගයකට ලක්වී තිබිණි.
අධ්‍යාපනය, රැකියා අවස්ථාව සහ නව තාක්ෂණය වැඩි දියුණු කරමින් ජම්මු කාශ්මීර් ප්‍රාන්තයට අන්තර්ජාතික වැදගත්කමක් අත්කර දීමට ඉන්දීය රජය ගන්නා වූ පියවර රැසකට බාධා එල්ල කරමින් ත්‍රස්ත ක්‍රියාකාරකම් තව දුරටත් සිදුවන අතර, එම ප්‍රාන්තයේ කාන්තාවන්ට පූර්ණ අයිතිවාසිකම් අත් කරදීමට මෙන්ම ඔවුන්ට ඉන්දියාවේ වෙනත් ප්‍රාන්තවල පුද්ගලයන් සමඟ විවාහ වීමට අයිතිය දීමට පියවර ගැනීම ත්‍රස්තවාදීන්ගේ කෝපය ඇවිළීවීමට සමත්වූයේ ජම්මු කාශ්මීරය අන්තවාදී ආගමික පසුබිමක් යටතේ පාලනය විය යුතු බවට ත්‍රස්තවාදී සංවිධාන තීරණය කර තිබූ බැවිනි.
ජම්මු කාශ්මීරය තවත් ඇෆ්ගනිස්තානයක් වීමෙන් වළක්වාගනිමින් එම ප්‍රාන්තයේ වැසියන්ට නිදහස් ජීවිතයක් ගත කිරීමේ අවස්ථාව උදා කරදීම ඉන්දීය රජයේ අභියෝගයක් බවට පත් වී ඇත. යටිතල පහසුකම් සංවර්ධනය කරමින් සෙසු ප්‍රාන්තවල ජනතාව භුක්ති විඳින නිදහස හා ආර්ථික ප්‍රතිලාභ ජම්මු කාශ්මීර් ප්‍රාන්තයේ වැසියන්ටද ඒ හා සමානව අත්කර දෙමින් එම අභියෝගය ජය ගැනීම ඉන්දීය රජයේ බලාපොරොත්තුව බව එරට පුවත්පත් වැඩි දුරටත් වාර්තා කළේය.