සජිත් ප්‍රේමදාස
පී.සී.ආර් සහ ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ සඳහා උපරිම මිලක් ඇතුළත්කරමින් ආණ්ඩුව ගැසට් නිවේදනයක් නිකුත් කිරීම ගජමිතුරන්ට ව්‍යාපාර කිරීම උදෙසා පසුබිම සකසන රංගනයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි.
ජනතාව ගැන සිතා යැයි ආණ්ඩුව විසින් නිකුත් කොට ඇති ගැසට් නිවේදනය සහමුලින්ම පුස්සක් වන බවත්, අදාළ ගැසට් නිවේදනය තුළින් දැනට පවත්නා ඖෂධ වෙළඳ මාෆියාව සාධාරණ යැයි සහතික කර ඇති බවත් විපක්ෂ නායකවරයා සඳහන් කරයි.
ඇන්ටිජන් කට්ටල ගෙන්වීම රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට භාර දී ජනතාවට සහනදායි මිලට ලබා දීමේ හැකියාව ආණ්ඩුවට පැවරී තිබෙන අත් නොහැරිය හැකි වගකීමක් වුවත් අදාළ ආයතනය එකී වගකීමෙන් මිදී අත් දෙක පිස දමා ගෙන ඇත්තේ තෝරාගත් ආයතනයකට ඖෂධ ඒකාධිකාරය පවත්වාගෙන යන්නට ඉඩ ලබා දෙමින් යැයි ද හෙතෙම පෙන්වා දෙයි.
කොරෝනා ව්‍යසනයෙන් අන්ත අසරණ වී ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙන අහිංසක මිනිසුන්ගේ ජීවිත හිලව්වට තබමින් මෙවන් ගෝත්‍රික පන්නයේ මාෆියාවන් ගොඩනැඟීමට ආයතනවලට අවසර ලබා දෙන ආණ්ඩුව ජනතාවගේ නින්දාවට පාත්‍ර වී ඇති බවත්, මෙතරම් නින්දා සහගත අපරාධයන් සිදු කිරීමට ඉඩ හසර ලබා දීම සම්බන්ධයෙන් සිය පිළිකුල සහ විරෝධය පළ කර සිටින බවත් ඔහු වැඩිදුරටත් කියයි.
පහන් විජේසේකර