පැය 5ට ලීටර් බිලියන 132ක ජල කඳක වැස්සක්
අයිඩා නිවර්තන කුණාටුව හේතුවෙන් ඇද හැලුණු ධාරානිපාත වර්ෂාවෙන් අමෙරිකාවේ නිව්යෝක් නුවර ජලයෙන් යටවූ බව බීබීසී පුවත් සේවය වාර්තා කළේය. දැවැන්ත ජල කඳෙන් නිව්යෝක් නගරය යට වීම නිසා හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කර තිබේ.
මේ ගංවතුර අතිශය බිහිසුණු බවත්, නගරයේ සියළු වීදි ජලයෙන් යටවීම නිසා අනතුරුදායක තත්ත්වයක් උදාවී ඇති බවත් නිව්යෝක් නගරාධිපති බිල් ද බ්ලැසියෝ ඊයේ නිවේදනය කළේය.
මේ ඓතිහාසික ගංවතුර හේතුවෙන් නගරයේ උමං මාර්ග සියල්ල ජලයෙන් යටවී ඇති අතර, එම තත්ත්වය පෙන්නුම් කෙරෙන වීඩියෝ පට සමාජ මාධ්‍යජාලා අතර වේගයෙන් ව්‍යාප්ත වී තිබේ. නිවාස සහ වීදි ජලයෙන් යටවීම නිසා නිව්යෝක් නුවර ජනතාව දැඩි පීඩාවට පත්වී ඇතැයිද වාර්තා වේ.
නිව්ජර්සි නුවර ද හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති අතර, එම නගරයෙන් මරණයක් ද වාර්තා වී ඇත. අයිඩා කුණාටුව නිව්ජර්සි නගරයේ නිවාස 9ක් මුළුමනින්ම විනාශ කර ඇතැයි ද වාර්තා වේ.
පොලිසිය සහ හදිසි ආපදා සේවා නිලධාරීන් අදාළ පළාත්වල විපතට පත්වූවන් මුදවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත. මේ හදිසි ගංවතුරෙන් තුවාල ලැබූ සංඛ්‍යාව මෙතෙක් තහවුරු වී නැත.
ජලයෙන් යටවූ මාර්ගවලින් ඉවත්වී සිටින ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටි බවත් වාර්තා වේ. නිව්යෝක් සහ නිව්ජර්සි නගරවල සියළු ගුවන් ගමන් සහ දුම්රිය ගමන් අවලංගු කර ඇති අතර, සියළු උමං මාර්ග වසා දමා තිබේ.
පෙරේදා රාත්‍රියේදී නිව්යෝක් නුවර සෙන්ට්‍රල් පාක් උද්‍යානයට අඛණ්ඩව පැයක් පුරා මිලිමීටර් 173ක වර්ෂාපතනයක් ලැබී ඇති අතර, එදින පස්වරු 7.00 සිට මධ්‍යම රාත්‍රිය දක්වා නිව්යෝක් නුවරට ඇද හැලුණු වර්ෂාව ලීටර් බිලියන 132ක තරම් අතිවිශාල ප්‍රමාණයක් බවට තක්සේරු කර තිබේ.
අධික වර්ෂාවෙන් යටවූ උමං මාර්ගවල සිරවී සිටි පුද්ගලයන් සියළුදෙනා නිරුපද්‍රිතව බේරා ගැනීමට පොලිසිය සහ හදිසි ආපදා සේවා නිලධාරීන් සමත්වී ඇතැයි සීඑන්එන් පුවත් සේවය වාර්තා කළේය. මේ තත්ත්වය මත නිව්යෝක් නුවරට සංචරණ තහනමක් ද පනවා ඇති අතර, හදිසි අවශ්‍යතා සහිත රථවාහන හැරුණු විට වෙනත් කිසිදු වාහනයකට මහාමාර්ගයේ ගමන් කිරීම තහනම් කර තිබේ.