28.4 C
Colombo
Monday, July 7, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඅත්‍යවශ්‍ය ආහාර සේවා-සැඟවූ තොග වැටලීම ප්‍රමුඛව හදිසි නීති රෙගුලාසි ක්‍රියාත්මක කරනවා

අත්‍යවශ්‍ය ආහාර සේවා-සැඟවූ තොග වැටලීම ප්‍රමුඛව හදිසි නීති රෙගුලාසි ක්‍රියාත්මක කරනවා

ඇමැති එම්. යූ. එම්. අලි සබ්‍රි

රටේ සුභ සිද්ධියට ඕනෑම වේලාවක හදිසි නීතිය ගෙන එන්න ජනපතිට පුළුවන්

ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ

හදිසි නීතිය බලාත්මක කළේ මිලිටරිකරණයට

මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර

සහල්-සීනි මිල පාලනයට හදිසි නීතිය ත්‍රියාත්මක කිරීම අවශ්‍ය ද? නෑ

මන්ත්‍රී අනුර කුමාර දිසානායක

සම සමාජ පක්ෂයේ අපි හදිසි නීතියට විරුද්ධයි

මන්ත්‍රී, මහාචාර්ය තිස්ස විතාරණ

මෙරට ජනතාවට අවශ්‍ය අත්‍යවශ්‍ය ආහාර සේවා පවත්වාගෙන යෑම, සඟවා ඇති තොග වැටලීම ආදි ප්‍රමුඛ කාරණා වෙනුවෙන් පමණක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කර ඇති හදිසි නීති රෙගුලාසි ක්‍රියාත්මක කරන බව අධිකරණ ඇමැති එම්. යූ. එම්. අලි සබ්‍රි මහතා ප්‍රකාශ කළේය.

ඇමැතිවරයා මේ බව සඳහන් කළේ අත්‍යවශ්‍ය ආහාර සේවා පවත්වාගෙන යෑම වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය 30 වැනිදා නිකුත් කරන ලද හදිසි නිති රෙගුලාසි සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ (06) පැවති විවාදයට එක් වෙමිනි.

අදා‍ළ රෙගුලාසි ප්‍රකාශයට පත් කරමින් ජනාධිපතිවරයා නිකුත් කර ඇති ගැසට් නිවේදනයේම ඒ බව සඳහන් කර තිබියදී විපක්ෂයේ කණ්ඩායම් මේ සම්බන්ධයෙන් වැරදි මතවාද සමාජගත කරන්නට උත්සාහ දරන බව ද ඇමැතිවරයා සඳහන් කළේය.

අත්‍යවශ්‍ය ආහාර සේවාවන් සැපයීම වෙනුවෙන් ඉදිරිපත් කර ඇති රෙගුලාසි ඔස්සේ රට මිලිටරිකරණය සිදු කරන්නේ කෙසේ දැයි ඇමැතිවරයා විපක්ෂයෙන් විමසා සිටියේය.

‍කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ඊයේ (06) පෙරවරු 10.30ට රැස් විය. කථානායක නිවේදන, ලිපි ලේඛන, වාර්තා සහ පෙත්සම් පිළිගැන්වීමෙන් පසුව පාර්ලිමේන්තු විවාදය ආරම්භ විය.

අධිකරණ ඇමැති එම්. යූ එම්. අලි සබ්‍රි මහතා

“ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරන ලද හදිසි නීති යෝජනාව නිවැරදිව කියවන්නේ නැතිව විවිධ චෝදනා එල්ල කරනවා. මීට අදාළව ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය කියවන්න. අත්‍යවශ්‍ය ආහාර සේවාවන් පවත්වාගෙන යෑමට පමණයි, මේ හදිසි නීතිය ක්‍රියාත්මක වෙන්නේ. එසේ තිබියදීත් මේ සම්බන්ධයෙන් වැරදි මතවාද සමාජ ගත කරන්න හදනවා‍. ජනතාවට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා දෙන්න එපා‍ කියල ද මේ අය කියන්නේ. ඒක කරන්න එපා‍ කියලද කියන්නේ. මෙරට පුරා දැනට ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ් ව්‍යසන තත්ත්වය තුළ රටේ යථා පැවැත්ම සුරක්ෂිත කිරීම හා මහජන ජීවිතවලට අත්‍යවශ්‍ය සැපයීම් හා සේවා පවත්වාගෙන යෑමේ අරමුණින් යුතුව මහජන ආරක්ෂක ආඥා පනතේ දෙවන වගන්තිය යටතේ එකී ආඥා පනතේ දෙවන කොටසේ විධි විධාන බලාත්මක කරමින් එහි පස්වන වගන්තියේ විධි විධාන ප්‍රකාරව සකස් කරන ලද අත්‍යවශ්‍ය ආහාර සැපයීම සඳහා වන හදිසි නීති රෙගුලාසි වර්ෂ 2021ක් වූ අගෝස්තු මස 30 වැනිදා ක්‍රියාත්මක විය යුතු බවට ප්‍රකාශනයක් ම විසින් නිකුත් කරමි යනුවෙන් ජනාධිපතිවරයා සිය නිවේදනය ඔස්සේ ප්‍රකාශ කර තිබෙනවා.”

කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා

“මහජන ආරක්ෂක ආඥා පනත යටතේ ජනාධිපතිවරයා හදිසි නීතිය ගැස‍ට් කර තිබෙනවා. එම පනත දින 14කදී පාර්ලිමේන්තුව විසින් සම්මත කළ යුතුයි. මේ පනත සම්මත කිරීමේ අයිතිය පාර්ලිමේන්තුව සතුයි. දින 14කට පසුව මෙහි බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවට. පාර්ලිමේන්තුව මෙය සම්මත කළාට පසුවයි මෙය නීතියක් බවට පත්වන්නේ. මේ රටේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිත‍යන් හිතනවා නම් මෙය සම්මත කළ යුතු නෑ කියලා මෙය සම්මත නොකර ඉන්න පුළුවන්. හදිසි ‍නීති රෙගුලාසි ජනාධිපතිවරයා විසින් පැනවූයේ පසුගිය 30 වැනිදා. හදිසි නීතිය පැනවු පළමු අවස්ථාව මෙය නොවෙයි. මහජනතාවගේ අවශ්‍යතාව වෙනුවෙන් ඕනෑම මොහොතක හදිසි නීතිය පැනවීමේ බලය, හැකියාව ජනාධිපතිවරයාට තිබෙනවා. මේ රටේ පාරිභෝගිකයා වෙනුවෙන් තමයි මේ හදිසි නීතිය ජනාධිපතිවරයා ගැසට් කළේ. රටේ මහජන සුභසිද්ධිය වෙනුවෙන් ඕනෑම වෙලාවක හදිසි නීතිය ගෙන එන්න ජනාධිපතිවරයා‍ට පුළුවන්. මට මතකයි, පසුගිය ආණ්ඩුව වැල්ලම්පිටිය කුණු කන්ද කඩා වැටුණු වෙලාවෙත් හදිසි නීතිය ක්‍රියාත්මක කළා. ඒ නිසා එවකට තිබු අර්බුදකාරී අවස්ථාවේදී හිටපු ජනාධිපතිවරයා හදිසි නීතිය ගෙන ආවා.

වී සහ සහල් ප්‍රමාණවත් පරිදි තිබෙනවා. කිසිසේත් සහල් හිඟයක්, වී හිඟයක් අපේ රටේ නෑ. ඒ නිසා මේ රටේ මිනිසුන්ට කන්න දෙන්න ප්‍රශ්නයක් නෑ. ආර්ථික මධ්‍යස්ථාන සියල්ලම තිබෙන්නේ මගේ අතේ. ආර්ථික මධ්‍යස්ථානවලට එළවළු ටොන් ලක්ෂ 25ක් විතර දවසකට එනවා. කිසිදු වී හිඟයක්,සහල් හිඟයක්, එළවළු හිඟයක් නැති බව මා වගකීමෙන් කියනවා. “

පත් කළ මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා (සජබ)

“ආණ්ඩුව විසින් හදිසි නීතිය බලාත්මක කළේ ජනතාව ගැන හිතලා නොවෙයි. මිලිටරිකරණය වෙනුවෙන්. මේක ගේන්නේ බඩු මිල පාලනය කරන්න කියලා ජනාධිපතිවරයා කියනවා. කොහොමද ඒක කරන්නේ. අප 95ට දුන්න සීනි දැන් 225යි. අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයා ලෙස පත් කර තිබෙන්නේ ආරක්ෂක අංශ ප්‍රධානියෙක්. ආරක්ෂක අංශවල අයට කරන්න පුළුවන් යුද්ධය කරන එක. අපට ආරක්ෂක අංශ සමඟ තරහක් නෑ. පරිපාලන සේවයේ සිවිල් නිලධාරියෙක් කරන ‍දේවල් හමුදා නිලධාරියෙක් සිදු කරන්නේ කොහොමද? ජනාධිපතිවරයා කියනවා, මේ රෙගුලාසි ගේන්නේ බඩු මිල පාලනය කරන්න කියලා. කොහොමද බඩු මිල පාලනය කරන්නේ. මේ සීනි ඔක්කොම ගෙනවිත් තිබෙන්නේ රුපියල් 75ට.”

පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා

“හදිසි නීති තත්ත්වය පිළිබඳ ගැසට් නිවේදනය නිකුත් කළ වහාම විපක්ෂය විවිධ දේ ප්‍රකාශ කරන්න ගත්තා. හදිසි නීතිය පැනවීමට ජනාධිපතිවරයා තීන්දු කළේ තනිවම නොවෙයි. භාණ්ඩ මිල පාලනයට අවශ්‍ය පියවර ගන්න කියලා හැමෝම වාගේ ජනාධිපතිවරයාට කිව්වා. වෙළෙඳ මාෆියාව විසින් ජනතාව සූරාකන බවට සියලුම පාර්ශ්ව ජනාධිපතිවරයාට පෙන්වා දුන්නා. සීනි බද්ද පැනවූයේ ජනතාව ගැන බලලා. දිගින් දිගටම සිදු වූ දේවල් දෙස බැලූ ජනාධිපතිවරයාට තීන්දු කරන්න සිදු වුණා, ජනතාව ගැන බලනවා ද? ව්‍යාපාරිකයන් දෙස බලනවා ද? කියලා. ඒ වගේම මීට පෙර තම තමන් සතු තොග ඉදිරිපත් කරන ලෙසත් ගැසට් නිවේදන නිකුත් කළා. ඇතැම් පිරිස් හිතා මතාම තොග සඟවා ඇති බව ආණ්ඩුවට තේරුණා. ඒ නිසා තමයි හදිසි නීතිය පනවා මේ ආකාරයට කටයුතු කරන්න ජනාධිපතිවරයාට සිදු වුණේ.”

රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතා

“අද අප හැමෝම සිටින්නේ සාමාන්‍ය වාතාවරණයක් යටතේ නොවෙයි. එවැනි වාතාවරණයක් යටතේ කිහිප දෙනකුගේ අවශ්‍යතාව මත අසාමාන්‍ය ලෙස බඩු මිල වැඩි කිරීමට ඉඩ දෙන්න බෑ. මෙයට එරෙහිව පාරිභෝගික අධිකාරිය ලෙස ගත හැකි උපරිම ක්‍රියාමාර්ග පසුගිය කාලයේදී ගත්තා. ලිට්‍රෝ සමාගම ලීටර 18 ගෑස් එකක් වෙළෙඳපොළට නිකුත් කළා. අප කිව්වා, එය ඉවත් කරගන්න කියලා. නමුත් ඉවත් කර ගත්තේ නෑ. අප මාලිඟාකන්ද උසාවියේ නඩු පැවරුවා. ඒක තමයි, පාරිභෝගික අධිකාරියට කරන්න පුළුවන්ව තිබු උපරිම දේ. අධිකරණයටවත් ඉදිරිපත් කරන්න බැරි නඩු විශාල ප්‍රමාණයක් සහල් සහ සීනිවලට අදාළව තිබෙනවා. පාරිභෝගික ද්‍රව්‍යවලට අදාළව පාරිභෝගික අධිකාරිය නඩු 35,000ක් විතර පනවා තිබෙනවා. මීගමුව අධිකරණය විසින් එකම නඩුවකට පමණයි මාස තුනක සිර දඬුවමක්දී තිබෙන්නේ. එය අධිකරණයේ වරදක් නොවෙයි. දැන් අප මොකක්ද කරන්න ඕනෑ. ‍ අප සූදානම් කඩිනමින් අවශ්‍ය නීති සම්පාදනය කරන්න.”

(නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය මහතා මුලසුනට පැමිණියේය.)

කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා (ජා ජ බ)

“භාණ්ඩ මිල ඉහළ යෑම කරුණු ගණනාවක් හේතුවෙන් ඇති වූ දේවල්. ජනාධිපතිවරයා මහජන ආරක්ෂක පනතේ දෙවන කොටස අනුව ක්‍රියාත්මක වී තිබෙනවා. සීනි මිල, සහල් මිල පාලනය කිරීමට‍ හදිසි නීතිය ක්‍රියාත්මක කිරීම අවශ්‍යද? හදිසි නීති තත්ත්වයක් ප්‍රකාශයට පත් නොකර ඒ වෙනුවෙන් කටයුතු කිරිමේ හැකියාව තිබෙනවා. ඒ සඳහා අත්‍යවශ්‍ය සේවා පනත උපයෝගි කර ගත හැකියි. පාරිභෝගික සේවා අධිකාරි පනත ය‍ටතේත් යම් යම් වගන්ති අනුව කටයුතු කළ හැකියි. නීති පණ මදි නම් ඒවාට අදාළ පනත් පාර්ලිමේන්තුවට ගේන්න. අප සහාය දෙනවා. තොග ගබඩා වැටලුවෙත් පසුගිය කාලයේ පාරිභෝගික සේවා අධිකාරිය යටතේ වන පනත්වලින්. අනීතික බලයක් පවරා ගැනීමක් මේ සිදු කරන්නේ. සාමාන්‍ය නීතිය ඉක්මවමින් කටයුතු කිරීම අප අනුමත කරන්නේ නෑ.”

වරාය හා නාවික ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතා

“කොවිඩ් වසංගතය නිසා රටේ ජනතාවට ඉතා අසීරු තත්ත්වයක් අද ඇති වෙලා තිබෙනවා. කොවිඩ් තත්ත්වය අසීරුතාවට පත් මහජනතාවගේ මෙන්ම රටේ පැවැත්ම සුරක්ෂිත කරන්නත් සේවා සැපයීම ඉදිරියට කරගෙන යන්නත් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව හදිසි නීතිය සම්බන්ධ විවාදය අද ආරම්භ වුණා. මින් පෙර කතා කළ අයගේ සාධාරණ කතාවලට ඇහුම්කන් දෙන්න අප ලැහැස්තියි. අප අද මුහුණ දෙමින් ඉන්නේ ගෝලීය වසංගත තත්ත්වයකට. මේ අවස්ථාවේදී ජනතාව අසීරුතාවට පත් වෙලා, මරණ බියෙන් ජීවත් වෙන්නේ. මේ කොවිඩ් වසංගතයට ගොදුරු වෙලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතාත් අපෙන් සමුගෙන තිබෙනවා. මේ අවස්ථාවේ අප එතුමා වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කරනවා. ජනතාව තමන්ට හුස්ම ගන්න බැරිව ජීවිත ඉල්ලමින් සිටින මොහොතක මේ රටේ ඇතැම් ව්‍යාපාරිකයන් අත්‍යවශ්‍ය භාණ්ඩවලට වැඩි මිලක් ඇති කරන්න කටයුතු කර තිබෙනවා. මේ අවස්ථාවේ ඊට විරුද්ධව කටයුතු කිරීම රජයේ වගකීමක් වගේම යුතුකමක් වෙනවා.”

පත් කළ මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා (සජබ)

“මංගල සමරවීර මහතා අද අප අතර නැති වීම ගැන කනගාටු වෙනවා. ජිප්සීස් නායක සුනිල් පෙරේරා මහතා ද අද රටට අහිමි වෙලා. එතුමාත් සිහි කරන්න කැමැතියි. මම පාරිභෝගික ඇමැතිවරයාට කියනවා, ගහ දන්න අයට කොළ කඩා පාන්න එපා කියලා. අප ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගන්න ඕනෑ අනාගතයට. නමුත් අපට එවැනි දෙයක් පෙනෙන්නනෑ. විද්‍යාව දැනුම සමඟ මේ වයිරසය මඬින්න විසඳුමක් ගෙන එන්න අවශ්‍යයි. ඒ වෙනුවෙන් අද ලොව බොහෝ රටවල් කටයුතු කරන අවස්ථාවේ අපේ රටේ හදිසි නීතියක් ගෙනල්ලා තිබෙනවා. මේ ආණ්ඩුව ගේන්නේ ජනතාව මර්දනය කරන පනත් පමණයි.”

දිවා ආහාරය සඳහා කල් තබන ලද පාර්ලිමේන්තුව පස්වරු 1.30ට යළි රැස් විය.

රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වරුණ ප්‍රියන්ත ලියනගේ මහතා (සජබ)

“ජනතාවගේ ආහාර අවශ්‍යතාව වෙනුවෙන්, පාරිභෝගික ජනතාව ආරක්ෂා කිරීමට මේ රෙගුලාසි ඉදිරිපත් කරන බවයි ආණ්ඩුව සඳහන් කරන්නේ. නමුත් අදාළ පනත අනුව කටයුතු කිරීමේ හැකියාව තිබෙනවා. එවැනි හැකියාවක් තිබියදී ඇයි හදිසි නීතිය ක්‍රියාත්මක කරන්නේ. හදිසි නීති අවස්ථාවලදී ජනතා පීඩාවට පත් වෙනවා.”

ජල සම්පාදන හා ජලාපවහන ඇමැති වාසුදේව නානායක්කාර මහතා

“සාමාන්‍ය නීතිය ය‍ටතේ යන්න බැරි ඇයි කියලා අහනවා. සාමාන්‍ය නීති යටතේ ගියාම වෙන්නේ උසාවි ගානේ රස්තියාදු වෙන්න වෙන එක. හදිසි නීතිය පූර්ණ බලැති නීතියක් ලෙස ගෙන එන්න. හදිසි නීතිය අවභාවිත වෙන්නේ නෑ කියලා කොහොමද සහතික වෙන්නේ කියලා සුමන්තිරන් මන්ත්‍රීවරයා අහනවා. වෙන කාගේ හරි ඇමැතිවරයකුගේ සහතිකයක් ‍මොකටද? ජනාධිපතිවරයා මෙය ගෙන එනකොටම කියනවා, ‍මෙය ගෙන එන්නේ ජනතාවගේ ආහාර අවශ්‍යතාව වෙනුවෙන් කියලා. හදිසි නීතිය කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේම කොටසක්. හදිසි නීතියත් සම්මත කරන්නේ පාර්ලි‍මේන්තුවෙන්නේ. පාර්ලිමේන්තුව හදිසි නීතිය සම්මත නොකළොත් ඉදිරියට ගෙන යන්න බෑ. මේ බව පිලිෆ් ගුණවර්ධන මහතාගේ කතාවකිනුත් උපුටා දක්වන්න පුළුවන්. මෝල් හිමියන් එක කන්නයකින් බිලියන ගණන් ලාභ ලබද්දී, ජනතාවට සහන මිලට සහල් ටික මිලදී ගන්න බැරි නම් ඇති වැඩේ මොකක්ද? ඒ නිසා ජනාධිපතිවරයා ජනතාවගේ ආහාර අවශ්‍යතාව සපුරාලීමට මේ හදිසි නීතිය ගෙනැවිත් තිබෙන්නේ. මෙය ගෙනැවිත් තිබෙන්නේ ගෙන ආ යුතුම මොහොතේදී බවයි මගේ හැඟීම.”

කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා (සජබ)

“ආණ්ඩුව දැම්මේ මාධ්‍ය සංදර්ශනයක්. මේ සීනි අගෝස්තු මාසයට‍ පෙර ගෙන ආ ඒවා. සල්ලි දීලා කොහොමද රාජ සන්තක කරන්නේ. මේ සීනි අල්ල‍ගෙන තිබෙන්නේ හදිසි නීතියෙන් නොවෙයි, පාරිභෝගික සේවා අධිකාරියේ පනතෙන්. ඒ නිසා තිබෙන නීති ඇති මේ වෙළෙඳපොළ පාලනය කිරීමට. හදිසි නීතිය හරහා ලෝකයට ඇති වන චිත්‍රය වැරදියි. ආහාරවලට අදාළ පාලන කටයුතු වෙනුවෙන් හදිසි නීතිය පනවන රටක් ලෙස ලෝකයේ ප්‍රචලිත වෙනවා. එවිට සංචාරකයෙන් ඒවිද? හදිසි නීතිය නොවෙයි, මොන නීතිය ගෙනාවත් අප අපේ ක්‍රියාමාර්ග සිදු කරනවා.”

පත් කළ මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතා

“සම සමාජ පක්ෂය ලෙස අප හදිසි නීතියට විරුද්ධයි. නමුත් පවතින වෙළෙඳපොළ රටාව අනුව ජනතාවගේ ආහාර අවශ්‍යතාව සපුරාලීම වෙනු‍වෙන්, සඟවා ඇති තොග සොයා ගැනීමට පනවා ඇති හදිසි නීතිය පැනවිය යුතුයි. ඒ නිසා අප ජනාධිපතිවරයාට කියනවා, මේ හදිසි නීතිය අවභාවිත කරන්න ඉ‍ඩ තබන්න එපා. ඒ වගේම අපගේ නිෂ්පාදන ක්‍රියාවලිය ශක්තිමත් කළ යුතුයි. ජනතාවක් ලෙස අප එක්ව කටයුතු කළ යුතුයි.”

රාජ්‍ය ඇමැති ජානක වක්කුඹුර මහතා

“මේ තත්ත්වය ඇති වූ‍යේ සීනි සම්බන්ධයෙන් ඇති වූ සිද්ධි දාමයත් සමඟයි. සීනිවලින් අධික ලාභයක් ලැබීමයි ‍ඇතැමුන්ගේ අභිප්‍රාය වුණේ. සෙවනගල නිෂ්පාදන සමාගමේ සීනි කිලෝවක් නිෂ්පාදනයට රුපියල් 125ක් වැය වෙනවා. පැල්වත්ත ඊ‍ටත් වැඩි මුදලක් වැය වෙනවා. මා රාජ්‍ය ඇමැතිවරයා ලෙස පත් වන විට එතනෝල් ලීටරයක් විකුණුවේ රුපියල් 290ට. මා ඇමැතිවරයා ලෙස වැඩ භාර ගන්නා විට මෙරට සීනි මෙට්‍රික් ටොන් 45,000ක්වත් නිෂ්පාදනය කළේ නෑ. ඒකට හේතුව වූයේ පසුගිය පාලන කාලයේදීම උක් ගොවියාට අවශ්‍ය දේවල් ටික නොදීමයි. මේ රටේ අරක්කු නිෂ්පාදනය කරන කිහිප දෙනකු අතට යන මුදල ආණ්ඩුවට, අරන් දෙන්න අපට‍ පුළුවන් වුණා. උක් ගොවියා වෙනුවෙන් ගෙවන මුදල් ප්‍රමාණය වැඩි කරන්න මට පුළුවන් වුණා.”

මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රිනී රෝහිණි කුමාරි කවිරත්න මහත්මිය මුලසුනට පැමිණියාය.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා (සජබ)

“ආණ්ඩුව හැම වෙලාවෙම කරන්නේ නෑ කියන දේවල් තමයි කරන්නේ. හදිසි නීතිය ගේන්නේ නැහැ කියලයි මීට පෙර සඳහන් කළේ. වසංගත පාලනයට අදාළ නීති ගේනවා වෙනුවට ආණ්ඩුව එක එක නීති ගේනවා. පෝට් සිටිවලට අදාළ පනතක් ගෙනාවා. ආණ්ඩුව කියනවා, දැන් හාල් සීනි හංගගෙන ඉන්නවාලු. අප ආ‍ණ්ඩුවට කියනවා, හොරා පොලිස් සෙල්ලම කරන්න එපා. ජනතා විරෝධය එන්න එන්නම වැඩි වෙනවා. ඒ විරෝධය මර්දනය කිරීමට හදිසි නීතිය ගේනවා. භාණ්ඩ මිල පාලනයට අදාළ පනත් ඕනෑ තරම් තිබෙනවා.”

මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් පුෂ්පකුමාර මහතා (පොජපෙ)

“කොවිඩ් වැනි වසංගතයක් වෙලාවේ ආණ්ඩුවකට විශාල වගකීමක් පැවරෙනවා. ඒ වගකීම අංශු මාත්‍රයක් හෝ අඩු නොකර ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා. ඇතැම් ව්‍යාපාරිකයන් හිතුමතේ භාණ්ඩ වල මිල වැඩි කරනවා. ඒ ආකාරයට කටයුතු කරන්න දෙන්න බෑ. ජනතාවට අවශ්‍ය භාණ්ඩ සාධාරණ මිල ගණන් යටතේ මිලදී ගැනීමට වාතාවරණය සකස් කිරීම වරදක් ද? පවතින සියලු අභියෝග නිසි පරිදි කළමනාකරණය කරමින් වත්මන් රජය කටයුතු කරනවා.”

රාජ්‍ය ඇමැති කාංචන විජේසේකර මහතා

“ජනාධිපතිවරයා අගෝස්තු 30 වැනිදා ප්‍රකාශයට පත් කරන ලද ගැසට් නිවේදන දෙක සම්බන්ධයෙන් වැරදි අර්ථකතනයක් ඉදිරිපත් කළා. මේ සම්බන්ධයෙන් රටේත් වැරදි මතවාදයක් ඇති කර තිබෙනවා. මේ පනත්වලින් හමුදාවට අමුතු බලයක් දී නෑ. කොවිඩ් වසංගත තත්ත්වය පාලනය කිරීමට ලෝකයේ විවිධ ර‍ටවල් විවිධ ආකාරයට කටයුතු කර තිබෙනවා. එන්නත්කරණය, රට මුළුමනින්ම වසා දැමීම ආදී විවිධ ක්‍රමවේද අනුගමනය කර තිබෙනවා. ලෝකයේ රටවල අපේ වගේ විපක්ෂයක් නෑ. ඒකයි ඇත්ත කතාව. එන්නත්කරණය ගැන කතා කරනවා. එන්නත්කරණය සිදු කළ ජනතාවගෙන් සියයට අනූවක් පමණ කොළඹ දිස්ත්‍රික්කයේ එන්නත්කරණය සිදු කර තිබෙනවා. මෙරට ජනගහනයෙන් ද විශාල පිරිසක් අප එන්නත්කරණය සිදු කර තිබෙනවා. “

පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත බේරුගොඩ මහතා (පොජපෙ)

“කොවිඩ් මුළු ලෝකයම වෙලා ගනිද්දී ලංකාවට ඉන් මිදෙන්න බැරි වුණා. අපට දැන් මිනිස් ජීවිත බේරා ගැනීමේ අභියෝගය තිබෙනවා. ඒ වගේම ජනතාව අවශ්‍ය දේ සැපයීම හා රාජ්‍ය පාලනය අපට අභියෝගයක් වෙලා. අත්‍යවශ්‍ය ආහාර ඖෂධ සාධාරණව දෙන්නයි රජයට අවශ්‍ය කරන්නේ. නමුත් ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ඇතැම් අය තමන්ගේ මඬි තද කරන්න කටයුතු කළා. ඉතිහාසයේ තරුණ නැගිටීම් දෙකක්. තිස් අවුරුදු යුද්ධයක් මෙන්ම සුනාමි ව්‍යාසනය තිබුණා. ඒ අවස්ථාවේ හිටපු රජයන් මේ රට බේර ගත්තා.”

පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා (සජබ)

“අද සීනි ඒකක ගේම් ගහන අය එක්ක තමයි සමහර ඇමැතිවරුන්ට මන්ත්‍රීවරුන්ට යන්න වෙලා තිබෙන්නේ. ඉහළ ඉන්න ජාවාරම්කාරයන් මේ අය වට කරගෙන ඉන්නේ. අද මේ හදිසි නීතිය දාන්න හේතුව මොකක්ද? ජනතාවයි ව්‍යාපාරිකයෝයි ද ආණ්ඩුවට විරුද්ධව කැරලි ගහන්නේ. හදිසි නීතිය දාන්න නම් මේ ආණ්ඩුවට විරුද්ධව කැරලි ගහන තත්ත්වයක් තිබෙන්න ඕනෑ. අද තිබෙන්නේ ලුණු ඇටේ සිට ගණන් ගිය තත්ත්වයක්. අද සිමෙන්ති නෑ. වයර් නෑ. අමතර කොටස් ගන්න බෑ. එවැනි තත්ත්වයක් මත තමයි, මේ හදිසි නීතීය ගෙනත් ජනතාවගේ බෙල්ල මිරිකලා රට පාලනය කරන්න හදන්නේ. සීනි වංචාව තමයි ඉතිහාසයේ සිදු වූ විශාලම වංචාව. විල්මා සමාගම තමයි මේ ජාවාරමේ ලාභය ගත්තේ. එයින් ආර්ථික ඔස්තාර්ලාටත් කොටසක් ගියා. බදු අඩු කර දෙන්න බැරි නම් මොන කෙහෙල්මලට ද ආණ්ඩුවක්..”

බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් මහතා (පොජපෙ)

“හදිසි නීතිය ගැන අප 83 ඉඳලාම දන්න දෙයක්. හදිසි නීතිය පටන් ගැනීමේ අප්පච්චිලා ඉන්නේ විපක්ෂයේ. එදා රන්ජන් විජේරත්න මහත්තයාලා තරුණයෝ මරන්න, ගංගාවල පා කරන්න හදිසි නීතිය භාවිත කළා. දෙමළ ඊළාම කාලේ හැමදාම හදිසි නීතිය මසකින් දීර්ඝ කළා කියලා කියනවා. නමුත් අද අප හදිසි නීතිය සම්මත කරන්නේ දේශපාලන නිදහසින් පසු ලෝකය මුහුණ දෙන ගැටලුවකට විසඳුම් හොයන්න. අද දියුණු රටවල් පවා දණ ගහලා තිබෙනවා. එක් කොවිඩ් රෝගියෙක් අහුවුණාම ලොක්ඩවුන් ඉවත් කරන්න ආණ්ඩුව එක්ක ගැටලු ඇති කර ගත්තා. අද අප එන්නත්කරණය සාර්ථකව කරගෙන යනවා.”

මහජන ආරක්ෂක ඇමැති සරත් වීරසේකර මහතා

“අපේ රටේ කිසිම ආහාර හිඟයක් තිබුණේ නෑ. 77ට පළමු දුෂ්කරතා තිබුණත් ජනතාව වවන්න ගත්තා. අපේ දේශීය ආර්ථිකය කඩා වැටුණේ විවෘත ආර්ථිකයත් සමඟයි. අද 77ට පෙර තත්ත්වය තිබුණා නම් අප ස්වයංපෝෂිතයි. කොවිඩ් වසංගතය නිසා මුළු ලෝකයම පීඩාවට පත් වුණා. ඒ නිසා ආනයනය මත හිටපු අප කඩා වැටුණා. අපේ රටේ නිෂ්පාදනය කළ හැකි දේවල් පවා පිටරටින් ගෙන ඒමට කටයුතු කළා. ඒ අවස්ථවෙන් ප්‍රයෝජනය ගත් ව්‍යාපාරියන් නිසා තමයි අදත් මේ තත්ත්වය අප රටට උදා වෙලා තිබෙන්නේ. කොවිඩ් වසංගතය අවස්ථාවේත් මේ අය භාණ්ඩ මිල වැඩි කර ජනතාව අසීරුතාවට පත් කරන්න කටයුතු කළා. කෘත්‍රිම හිඟයක් මවාපාලා භාණ්ඩ මිල වැඩි කරන්න උත්සාහ කළා. මේ මහජන ආරක්ෂන රෙගුලාසි අප කවදද යොදා ගන්නේ. ඒ නිසා යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද කියලා මේ අවස්ථාවේ රජය තීරණය කළා, මේ පනත ගෙන එන්න.”

කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. සී. අලවතුවල මහතා, (සජබ)

“අද අවසානාවන්ත කාලයක කොරෝනා උවදුර නිසා සමු ගත් 10,040 ජනතාවට ශෝකය පළ කරනවා. අද රටේ භයංකර තත්ත්වයක් ඇති කර තිබෙනවා. රජය කොරෝනා පාලනයේදී ගන්නා වැරදි තීන්දු තීරණ නිසා මේ තත්ත්වය ඇති වෙලා. විශේෂඥ උපදෙස්, සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ අතහැර කටයුතු කිරීම නිසා ජනතාවට ජීවිතයෙන් වන්දි ගෙවන්න වෙලා. ලෝක සෞඛ්‍ය සංවිධානය කිව්වේ 60 වැඩි අයට ප්‍රමුඛතාව දෙන්න කිව්වේ. අද මිය යන්නේ වැඩි පිිරිස 60ට වැඩියි. ඒ නිසා මේ මරණවල වගකීම මේ තීණ්දු තීරණ ගත් අය භාර ගන්න ඕනෑ. “

රාජ්‍ය ඇමැති ඉන්දික අනුරුද්ධ මහතා

“අද විපක්ෂය එන ඕනෑම යෝජනාවක් වැරදියි කියලා පෙන්නනන් හදනවා. අප මේ යෝජනා ගේන්න කලින් ඉඳලා ජනතාවාදීව කටයුතු කළා. අප සියලු දේ ඉලක්කයට ගෙන ගියා. ජනාධිපතිවරයාට බලය දුන්නේ මේ ආණ්ඩුව භාර දුන්නේ රටේ අවශ්‍ය කරන වෙනස්කම් කරන්න. මෙය ඒකාධිපතිවාදය, මර්දනය, මිලිටරිකරණය කියලා විපක්ෂය කියනවා. ආණ්ඩුව මේ කරන්න හදන්නේ අහිංසක මිනිසුන්ගේ අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩ හංගන්න ඉන්න අයට වැට බැඳීමක්. මේ වැඩ කටයුතු අප එදත් කළා. සෙවනගල, පැල්වත්ත අත්පත් කර ගන්න අප පනතක් ගෙනාවා. ඒ අවස්ථාවේ එදා දයා ගමගේ කිව්වේ මොනවාද? මේ වෙලාවේ කරන්න හදන්නේ හදිසි නීතිය සම්මත කර ගන්න. ඒ කූඩ වෙළෙන්දුට වැට බඳින්න. “

කුරුණැගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා (සජබ)

“භාණ්ඩ මිල පාලන කරන්න තමයි, මේ ආණ්ඩුව හදිසි නීතිය ගෙනත් තිබෙන්නේ. ජනාධිපතිවරයා කිව්වා සීනි 85 දෙනවා, සැමන් 100ට දෙනවා කියලා. ඒවා එකක්වත් වුණේ නෑ.”

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මුලසුනට පැමිණියේය.

“ජනාධිපතිවරයාගේ වචනය සතියට දෙකකට වඩා එහා ගියේ නෑ. සීනි මිල ඉහළ ගියා. ඒක තමයි මේ පනත ගේන්න වෙලා තිබුණේ. මිල පාලන කිරීමේ කමිටුවක් මත තමයි එදා මිල පාලනය සිදු වුණේ. අපේ කාලේ දීර්ඝ කාලීනව කිසිම භාණ්ඩයක මිලක් වැඩි වුණේ නෑ. අද දීර්ඝ කාලීනව මිල පාලනය කරන්න බැරි වුණ නිසා තමයි මේ පනත ගේන්න වෙලා තිබෙන්නේ. අද සීනි රාජසන්තක කරනවාලු. රාජසන්නත කළා නම් රජය සතු වෙන්න ඕනෑ නැත්නම් විනාශ කරන්න ඕනෑ. දැන් සීනි රාජසන්තක කරනවා කියන්නේ ආණ්ඩුව අරන් ආණ්ඩුව විකුණනවා. අද දිසාපතිවරුන්ට අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයා නියෝගයක් කර තිබෙනවා. මේ නියෝගය මා සභාගත කරනවා. අද රාජ්‍ය පරිපාන සේවා නිලධාරීන්ට වෙලා තිබෙන වින්නැහියට මෙය උදාහරණයක්.”

පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොළවත්ත මහතා (පොජපෙ)

“මේ රටේ දැවෙන ප්‍රශ්නයක් තිබෙන අවස්ථාවක ජනතාව වෙනුවෙන් පෙනී ඉන්නේ කවුද? කළුකඩකාරයෝ වෙනුවෙන් ඉන්නේ කවුද? කියලා හිතා ගන්න පුළුවන්. විපක්ෂය කොවිඩ් මර්දන එන්නත මීට වඩා ප්‍රවර්ධන කළා නම් නියමිත වෙලාවේ මේ එන්නත ගහ ගත්තා නම් මීට වඩා හොඳයි කියලා මට අදහසක් තිබෙනවා. ඒ අයට තිබෙන්නේ අද ආසාදිතයන් කීයද? මරණ කීයද? කියන එක විතරයි. විපක්ෂය අත දුන්නත් නැතත් අප මේ ගමන යනවා. අද කොහොද මිලිටරිකරණයක් තිබෙන්නේ අද තිබෙන්නේ පොදුජන පෙරමුණු රජයක්.

යහපාලන රජය යුද හමුදාවේ අපේ බුද්ධි අංශවල වැදගත්කම නොදැන ඒ අයව හිර ගත කළා. අප ඒ අයව ජනතා සේවයේ යොදවා ගන්න තීරණය කළා. ඒ අනුව එන්නතරකණයට හමුදාව යොදවා ගත්තා. ඒ ගැන හොඳ කියනවා. අද පුරන් කුඹුර අස්වද්දනවා. ඒ දේශපාලන තීන්දු මිස මිලිටරීකරණය නොවෙයි. අද මේ කොවිඩ් පොකුර ගැන විපක්ෂයට සතුටුයි. කාබනික පොහොර තීන්දුව එද්දී පොහොර හංගපු වෙලාවේ මේ තීරණය අප ගන්න තිබුණේ. මේ බය වෙලා තිබෙන්නේ මේ අයට සටන් පාඨ නැතිව යයි කියලා.”

පාර්ලි‍මේන්තුව අද (07) පෙරවරු 10.00ට යළි රැස් වේ.

*****************************

ස්වර්ණා විජේකෝන් සහ සමන්මලී ප්‍රියශාන්ති