ඉතාලියේ සාඩිනියාහිදී නිමා වූ ලෝක ශූරතා රෝදපුටු ටෙනිස් තරගාවලියේදී දස්කම් දැක්වූ ශ්‍රී ලංකා කණ්ඩායම ඇගයීමේ උත්සවයක් ක්‍රීඩා තරුණ කටයුතු ඇමැති නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ක්‍රීඩා අමාත්‍යාංශයේදී පැවැත්විණි.
රටවල් 16ක සහභාගිත්වයෙන් පැවැති ලෝක ශූරතාවලියේදී ශ්‍රී ලංකා පිල 6 වැනි ස්ථානය දිනා ගත් අතර, එම කණ්ඩායමට සුරේෂ් ධර්මසේන, ලසන්ත රත්නවීර සහ ඩී.එම්. ගාමිණි ඇතුළත් වූහ. කණ්ඩායමේ පුහුණුකරු ලෙස ජගත් වැලිකල මහතා කටයුතු කළේය.
මෙලෙස දස්කම් දක්වමින් ශ්‍රී ලංකා පිල ලෝක ශ්‍රේණිගත කිරීම්වල 6 වැනි ස්ථානය දක්වා ගෙන ගිය ක්‍රීඩකයන් දිරිගැන්වීමේ අරමුණින් එක් අයෙකුට රුපියල් මිලියන බැගින් මුදල් ත්‍යාග පිරිනැමුණු අතර, පුහුණුකරු ලෙස කටයුතු කළ ජගත් වැලිකල මහතාට රුපියල් දෙලක්ෂ පනස් දහසක් හිමි විය. මේ සඳහා එස්එල්ටී මොබිටෙල් ආයතනය අනුග්‍රාහකත්වය දී තිබිණි.
මේ අවස්ථාවට එක් වූ ක්‍රීඩා ඇමැතිවරයා පැවසුවේ ඉතිහාසයේ පළමු වරට මෙවැනි ජයග්‍රහණයක් අත් කර ගැනීමට රෝදපුටු ටෙනිස් කණ්ඩායම සමත් වීම අගය කරන බවත්, මෙතෙක් බලාපොරොත්තු වූ ඉලක්ක අබිබවා යෑමට මේ කණ්ඩායම සමත් වීමෙන් අනෙක් ක්‍රීඩාවල නිතර ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ද අභියෝග ජය ගැනීම සම්බන්ධයෙන් හොඳ පිළිතුරක් දී ඇති බවත්ය.
“ඉතිහාසයේ පළමු වරට අපේ රෝද පුටු ටෙනිස් කණ්ඩායමට ලෝකයේ 6 වැනි ස්ථානය ගැනීමට හැකි වී තිබෙනවා. මෙතෙක් අප බලාපොරොත්තු වූ ඉලක්කයන් සියල්ල අබිබවා යන්න මේ තරුණ ක්‍රීඩකයන්ට හැකි වීමෙන් අනෙකුත් ක්‍රීඩාවල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටත් තම ක්‍රීඩා සැලැස්ම පිළිබඳ හා තමන්ට මුහුණ දීමට ඇති අභියෝග ගැන ඉතාමත් අනාගතවාදීව සහ බලාපොරොත්තු සහගතව බලන්න පුළුවන් පිළිතුරක් දී තිබෙනවා.” ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා කියා සිටියේය.
අමාත්‍යාංශයක් ලෙස නිරන්තරයෙන් උත්සාහ කරන්නෙ අන්තර්ජාතික තලය ජය ගත හැකි ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහි කිරීම වන අතර, එවැනි ජයග්‍රහණ අත් කර ගැනීමට මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හැකියාවක් ඇති බවත්, එය කේන්ද්‍ර කරගත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව අමාත්‍යාංශයක් ලෙස විශ්වාස කරන බවත් පැවසූ ක්‍රීඩා ඇමැතිවරයා එම ජයග්‍රහණ කරා යෑමට අවශ්‍ය මාවත නිර්මාණය කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය ප්‍රමුඛ ආයතන සියල්ල නිරන්තරයෙන් සූදානම් බවත් පැවසීය.
මේ අවස්ථාවට ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අනුරාධ විජේකෝන්, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය, ජාතික පැරාලිම්පික් කමිටුවේ ලේකම් බ්‍රිගේඩියර් බන්දුල බණ්ඩාර, ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී ලලිත් සෙනෙවිරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.
නිරෝෂාන් ප්‍රියංකර