28.4 C
Colombo
Tuesday, July 1, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsශ්‍රී ලංකා පාපන්දු පිල වසර 18කට පසු ඉන්දියාව බින්දුවේ තබා තරගය සම...

ශ්‍රී ලංකා පාපන්දු පිල වසර 18කට පසු ඉන්දියාව බින්දුවේ තබා තරගය සම කරයි

දකුණු ආසියා පාපන්දු ශූරතාවලියේ ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර, තරගය ගෝල් වාර්තා නොවී ජය පරාජයෙන් තොරව නිමා වෙයි. වසර 18කට පසු ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර, පාපන්දු තරගයක් සම කර ගැනීමට සමත් වූ හෙයින් ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩාවට ඊයේ දිනය කලකට පසු ආඩම්බරයක් ගෙන දුන්නේය. මාලදිවයින් ජාතික ක්‍රීඩාංගණයේ ඊයේ පැවැති මේ තරගයේදී ප්‍රබල ඉන්දියානුවෝ මෙල්ල කොට බින්දුවේ තැබීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වීම ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩාවේ යම් ප්‍රගතියක් විදහා දක්වන බව මාලදිවයිනේ සිටින පාපන්දු විචාරක මතය වී තිබේ.

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර, අවසන් වරට පාපන්දු තරගයක් සම වූයේ 2003 වසරේ බංග්ලාදේශයේ පැවැති දකුණු ආසියා පාපන්දු ශූරතාවලියේදීය. එම තරගයේදී දෙපිලම ගෝල් 1 බැගින් ගැනීමට සමත් විය. එහෙත් ඉන් පසුව පැවැති සියලු තරගවලදී ශ්‍රී ලංකා පිල පරාජයට පත්ව ජයක් සොයමින් සිටියදී මේ ජය පරාජයෙන් තොර ප්‍රතිඵලය වාර්තා විය. ශ්‍රී ලංකා පාපන්දු පිලේ ආරක්ෂක කළාපය වෙනදාට වඩා ශක්තිමත් වූ අතර, ඉන්දියාවට ගෝල් රැස් කිරීමේ අවස්ථා කිහිපයක්ම වළක්වාලීමට ඔවුහු සමත් වූහ.

අන්තර්ජාතික තරග 122කට ක්‍රීඩා කොට හසල අත්දැකීම් ඇති ඉන්දීය ප්‍රහාරක ක්‍රීඩක සුනිල් චෙට්ත්‍රීට රිසි සේ දස්කම් දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකයෝ කිසිදු බුරුලක් නොදුන්හ. චෙට්ත්‍රී අන්තර්ජාතික තරගවලදී ගෝල් 77ක් රැස් කර බ්‍රසීල ජාතික පේලේගේ වාර්තාව බිඳ හෙළීමට තවත් ගෝලයක් අඩුව සිටියේය. කෙසේ වුවද ඉන්දීය ප්‍රහාරක බලකායේ ක්‍රීඩකයන් සිවුදෙනාම උසස් ක්‍රීඩා විලාශයක් දැක්වූ අතර, එයට නොදෙවැනි ආකාරයට ශ්‍රී ලංකා ආරක්ෂක පෙළ ශක්තිමත් විය.

ශ්‍රී ලංකා පාපන්දු නායක ගෝල් රකින ක්‍රීඩක සුජාන් පෙරේරාගේ දක්ෂ ආවරණය ද ඉන්දීය පිලට හිසරදයක් ගෙන දුන්නේය. සුජාන්ගේ අනගි ගෝල් රැකීම ඉදිරියේ ඉන්දියාවට ගෝල් රැස් කිරීමේ අවස්ථා 6ක් පමණ ගිලිහී ගියේය.

මේ තරගයේ තාක්ෂණික දත්ත වාර්තා අනුව ඉන්දියාව ගෝල් කණුව වෙත ප්‍රහාර 11 එල්ල කළ අතර, ශ්‍රී ලංකාව එක් ප්‍රහාරයකට සීමා වී තිබිණි. නිවැරදි ඉලක්කය වෙතම පන්දුව යොමු කිරීම ඉන්දියාවේ එක් අවස්ථාවක් වාර්තා වූ අතර, ශ්‍රී ලංකාවෙන් එවැනි අවස්ථා වාර්තා වී නැත. තරගය පුරා ක්‍රීඩකයන් ස්ථානගත වීමේ ප්‍රතිශතය ශ්‍රී ලංකාවේ සියයට 27ක් වූ අතර, ඉන්දියාවේ සියයට 73ක් විය. ශ්‍රී ලංකා පිලේ නීති විරෝධී තරග හැසිරීම් (ෆවුල්) අවස්ථා 15ක් වූ අතර, ඉන්දියාවෙන් නීති වරෝධී තරග හැසිරීම් (ෆවුල්) අවස්ථා 16ක් දක්වා ඉහළ ගියේය. ඉන්දියාව කෝනර් පහරවල් 12ක් එල්ල කරද්දී ශ්‍රී ලංකාවට කෝනර් පහර අවස්ථා කිසිවක් හෝ නොලැබිණි. ක්‍රීඩකයන් අතර, නිවැරදි පන්දු යොමු කිරීම් ඉන්දියාවේ සියයට 81ක් වු අතර ශ්‍රී ලංකාවේ එය සියයට 54ක් විය. ශ්‍රී ලංකාවට කහකාඩ් පත් අවවාද 3ක් හා ඉන්දියාවට කහකාඩ් පත් අවවාදයක් විනිසුරු පෙන්වීය.

ශ්‍රී ලංකා පාපන්දු පුහුණුකරු බොස්නියා ජාතික අමීර් ඇජික් මහතාගේ අනිසි හැසිරීම නිරීක්ෂණය කළ සයියෝඩ් ජොන් විනිසුරු ඔහුට කහ කාඩ්පත් අවවාදයක් දුන් අතර, ඉන්දීය පුහුණුකරු ක්‍රොඒසියා ජාතික ඉගෝ ස්ටිමැක් මහතාට ද අවස්ථා දෙකකදී පමණ අවවාද කරනු දක්නට ලැබිණි.

දෙරට අතර, පාපන්දු ඉතිහාසයේදී මෙතෙක් තරග 17ක් පවත්වා තිබෙන අතර ඉන් ඉන්දියාව තරග 9ක් ද ශ්‍රී ලංකාව තරග 3ක් ද ජයගෙන තිබේ. වසර 1989 සිට දෙරට අතර, ඊයේ වනතුරු පැවැති තරග අතුරින් 5ක් ජය පරාජයෙන් තොරව නිමා වී තිබේ. වසර 2000දී පැවැති ගෝල්ඩන් ජුබිලි තරගාවලියේදී ශ්‍රී ලංකාව ගෝල් 1-0කින් ඉන්දියාව පරාජය කිරීම ඉන්දියාවට එරෙහිව ලැබූ අවසන් ජය වන අතර, 2018 දකුණු ආසියා පාපන්දු ශූරතාවලියේදී ගෝල් 2-0කින් ඉන්දියාව අවසන් වරට ශ්‍රී ලංකාව පරාජය කළේය.

ප්‍රින්ස් ගුණසේකර මාලදිවයිනේ සිට…..