හත්වැනි විස්සසයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටය ආරම්භ කරමින් ඊයේ පස්වරුවේ ඕමානයේදී පැවැති පැපුවා නිව්ගිනියාව සමඟ පළමු තරගයෙන් කඩුලු 10ක දැවැන්ත ජයක් හිමි කර ගැනීමට ඕමානය සමත් විය.
පළමු වටයේ ‘බී’ කාණ්ඩයේ තරගයක් වූ මේ තරගයේ පළමුව පන්දුවට පහර දුන් පැපුවා නිව්ගිනියා පිල ලකුණු 129කට සීමා කළ ඕමාන් ක්‍රීඩකයෝ ඕවර 13.4කදී ජයග්‍රාහී ඉල්ලකය පසු කළේ කිසිවකුත් නොදැවී තිබියදීය.
ජතින්දර් සිං නොදැවී ලකුණු 73ක් සහ අකිබ් ඉල්යාස් නොදැවී ලකුණු 50ක් රැස් කරමින් ඕමානය ජය තහවුරු කළහ.
පන්දු 42කට මුහුණ දුන් සිං හතරේ පහර 7කින් සහ හයේපහර 4කින් ඉනිම වර්ණවත් කරගත් අතර, ඉල්යාස් හතරේ පහර 5ක් සහ හයේ පහරක් එල්ල කළේ පන්දු 43කදීය. මෙය ඕමානය වෙනුවෙන් විස්සයි20 තරගයකදී ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් ගොඩනැඟුණු ඉහළම සබඳතාව (131) ලෙස වාර්තා විය.
මෙය ලෝක කුසලාන තරගාවලියකදී කඩුලු 10කින් ජයගත් තෙවැනි තරගය වන අතර, ඉහළම හඹා යෑම ද විය. මින් පෙර ඔස්ට්‍රේලියාව (102) සහ දකුණු අප්‍රිකාව කඩුලු 10කින් ජය අත් කර ගෙන තිබුණේ පිළිවෙළින් ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම්වලට එරෙහිවය.
පැපුවා නිව්ගිනියා ආරම්භක පිතිකරු යුගලය ලකුණු පුවරුව ක්‍රියාත්මක වීමටත් පෙර යළි ක්‍රීඩාගාරයට හරවා යැවීමට ඕමාන පන්දු යවන්නෝ සමත් වූ අතර, තෙවැනි කඩුල්ලට නායක අසාද් වාලා සහ චාර්ල්ස් අමිනි ලකුණු 81ක සබඳතාවක් සමඟින් කණ්ඩායම ස්ථාවර තත්ත්වයකට ගෙන ඒමට සමත් වූහ.
පන්දු 26කින් ලකුණු 37ක් රැස් කළ චාර්ල්ස් දැවී යෑමෙන් එම සබඳතාව නිමා වූ අතර, මුළු ලකුණු 102දී වාලා දැවී ගියේ ලකුණු 56ක් රැස් කර තිබියදීය. පන්දු 43කට මුහුණ දුන් ඔහු හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් එල්ල කර තිබිණි.
ඒ සමඟ ක්‍රියාත්මක වූ ඕමාන පන්දු යවන්නෝ ලකුණු 16ක් තුළ තවත් කඩුලු 5ක් බිඳ දැමීම හේතුවෙන් පැපුවා නිව්ගිනියා කණ්ඩායමට විශාල ලකුණු සංඛ්‍යාවක් කරා යෑමට තිබූ අවස්ථාව අහිමි විය. විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ නායක සීෂාන් මක්සූඩ් ලකුණු 20කට කඩුලු 4ක් දවාගත් අතර, බිලාල් ඛාන් සහ කලීමුල්ලා කඩුලු 2 බැගින් බිඳ දැමූහ. මක්සූඩ් තරගයේ වීරයා ලෙස නම් කෙරිණි.
පැපුවා නිව්ගිනියාව – 129/9 (ඕවර 20) සාද් වාලා 56, චාර්ල්ස් අමිනි 37 (සීෂාන් මක්සූඩ් 20/4)
ඕමානය – කිසිවකු නොදැවී 131 (ඕවර 13.4) ජතින්දර් සිං නොදැවී 73, අකිබ් ඉල්යාස් නොදැවී 50.