කාපට් කළ පාරවල් තිබුණත් එම පාරවල්වල යාමට තෙල් නැති බවත් උද්දච්ජ මානසිකත්වයකින් මේ අභියෝගය ජය ගත නොහැකි බවත් අමාත්‍ය විමල් විරවංශ පැවසීය.
‘මුළු රටම හරි මගට ජාතික ප්‍රකාශනය එළිදැක්වීම’ ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ 11ක නායකයින්ගේ සහභාගීත්වයෙන් ඊයේ (02) පස්වරුවේ සිදු කෙරුණු අතර එහිදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“කාපට් කරපු පාරවල් තියෙනවා. තාමත් කාපට් කරනවා. කාපට් එක උඩින් තව කාපට් කරනවා. හැබැයි පාරේ වාහන යන්න තෙල් නැති වෙනවා. කාපට් එක එක තියෙනවා. කාපට් පාර තිබ්බට ඒ පාරේ යන වාහනයට තෙල් ටික නැත්නම් පාර කන්නද? ආණ්ඩුවක් තියෙනවා මේ තත්ත්වය ගැන බැරෑරුම් සාකච්ජාවකින් තොරව. පාලකයෝ ඉන්නවා මේ තත්ත්වය ගැන බැරෑරුම් අවබෝධයකින් තොරව.
මේකෙන් ගොඩ එන්න ප්‍රධාන පියවර කිහිපයක් ගන්න ඕන. පළමු කොට විශේෂඥ සහය ගන්න ඕන. තමන්ට මේ සියල්ල තේරෙනවා, මගේ මොළෙයි ඉතුරු තවත් මොළ හයයි තියෙනවා ඒ නිසා මට කිසි ප්‍රශ්නයක් නැහැ, මට මොකටද මේ විශේෂඥ සහය. මම හිතන විදිහට ඔක්කොම වෙනවනම් එහෙම බැහැ. ඒ වගේ උද්දච්ජ මානසිකත්වයකින් මේ අභියෝගය ජය ගන්න බැහැ. හදන්න ඕන සැලැස්මක්. ඒ සැලැස්ම අතට අරගෙන යන්න ඕන ණය දීපු අය හම්බවෙන්න. ගිහින් කියන්න ඕන උඹලා කියන විදිහට දැන් වාරිකය ගෙවන්න බැහැ. අපිට ගෙවන්න පුළුවන් සැලැස්මක් තියෙනවා මේක පිලිගනින්. කෝ ඒ සාකච්ජාව ?
මහ බැංකුවේ අධිපතිතුමා කියනවා මාස 06ක් තිස්සේ ගත යුතු පියවර නිර්දේශ කරලා මම ලිපි 09ක් යැව්වා යෝජනා හැරියා. එකකට කිසිම ප්‍රතිචාරයක් නැහැ. හම්බ වෙන්න වෙලාවක් නැහැ මුදල් ඇමතිතුමාව. මෙච්චර විදේශ විනිමය අර්බුදයකින් පිඩා විදින රටක මහ බැංකු අධිපතිටම මුණ ගැහෙන්න මුදල් ඇමතිට වෙලාව නැත්නම් එක්කෝ මේක කෙළවාගන්න ඉඩ දී බලා සිටිනවා.
අද කලු සල්ලි ඩොලර් වෙලෙදපොලක් හැදිලා ප්‍රබල වෙලා. මම ලෝකේ මොන රටකවත් කිසිම මුදල් ඇමති කෙනෙක් ගෙන් මම අහලා නැහැ කලු සල්ලි මාර්කට් එක ප්‍රවර්ධනය කරන. මේ වෙලාවේ මේ කලු සල්ලි මාර්කට් එක ප්‍රවර්ධනය නෙමෙයි පුළුවන් තරම් දුර්වල කරන්න ඕන. නිත්‍යානුකුල මාර්ගයෙන් සල්ලි එන්නේ නැහැ. දකුණු කොරියාවේ රැකියා කරන තරුණ දරුවන් සියයට 90ක් මුදල් එවන්නේ උණ්ඩියල් ක්‍රමයට.
බැංකු පද්ධතියට හැරෙන ඩොලර් ටික හිඳෙනවා. හොර පාරෙන් යන ඩොලර් ගඟ තර වෙනවා. ඒකට එහෙම වැඩෙන්න දීලා බලන් ඉන්නවා. මේ අපේ රටයි එක්කයි සෙල්ලම් කරන්නේ. අපිට ද්විත්ව පුරවැසිභාවයක් නැහැ. ඉන්න හරි මැරෙන්න හරි ඔක්කොම තියෙන්නේ මෙතන.”


