― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsLocalයුගදනවි ගිවිසුම අභියෝගයට ලක් කළ පෙත්සම් සියල්ල නිෂ්ප්‍රභ කෙරේ

යුගදනවි ගිවිසුම අභියෝගයට ලක් කළ පෙත්සම් සියල්ල නිෂ්ප්‍රභ කෙරේ

කෙරවලපිටිය යුගදනවි තාප විදුලි බලාගාරයේ රජයට අයත් 40% ක කොටස් අමෙරිකානු සමාගමකට ලබා දීමට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් සියල්ල විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කර තිබේ.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මළල්ගොඩ සහ එල්. ටී.බී දෙහිදෙණිය යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබා දුන්නේය.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අගවිනිසුරු ජයන්ත ජයසූරිය අධිකරණය හමුවේ කියා සිටියේ මෙම පෙත්සම් විභාගයට ගැනීම සඳහා වගඋත්තරකරුවන් වෙත නොතීසි නිකුත් නොකිරීමට අධිකරණය තීරණය කළ බවයි. ඒ අනුව අදාළ පෙත්සම් 5 විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරන බව අගවිනිසුරුවරයා නිවේදනය කළේය.

පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් හා කාදිනල් අතිඋතුම් මැල්කම් රංජිත් හිමිපාණන්, සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර, ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුනිල් හඳුන්නෙත්ති සහ වසන්ත සමරසිංහ, වෘත්තීය සමිති ඇතුළු පාර්ශව විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබේ.

මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස මහින්ද රාජපක්ෂ ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින්, යුගදනවි බලාගාරය හිමි වෙස්ට් කොස්ට් පවර් ප්‍රයිවට් ලිමිටඩ්, එම සමාගමේ කොටස් පවරනු ලැබූ ඇමරිකානු සමාගම වන නිව් ෆෝට්රස් එනර්ජි සමාගම, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබූ අතර පෙත්සම්කරුවන් කියා සිටියේ කෙරවලපිටිය යුගදනවි බලාගාරය අයත් සමාගමේ ශ්‍රී ලංකා රජයට අයත් කොටස්වලින් සියයට 40 ක් වගඋත්තරකාර ඇමරිකානු සමාගම වෙත පැවරීමට අමාත්‍ය මණ්ඩලය ගනු ලැබූ තීරණය යුක්ති සහගත නොවන බවයි.

මෙම තීරණය ගැනීමට පෙර ජාතික ආර්ථිකය හා ජාතික ආරක්ෂාව වැනි කරුණු කෙරෙහි අවධානය යොමු කිරීමට වග උත්තරකාර අමාත්‍ය මණ්ඩලය අසමත් වී ඇති බවද ඔවුන් චෝදනා කළේය.

එමෙන්ම අදාළ කොටස් පැවරීමේ ක්‍රියාවලිය හරහා මෙරට ගෑස් නිෂ්පාදනයේ ඒකාධිකාරය වගඋත්තරකාර ඇමරිකානු සමාගම වෙත පවරා දී තිබෙන බව පෙන්වා දෙන පෙත්සම්කරු මෙම කොටස් පැවරීමේදී විධිමත් ටෙන්ඩර් පටිපාටියක් අනුගමනය කර නොමැති බව සඳහන් කළේය. මේ හරහා අදාළ කොටස් පැවරීමේ ක්‍රියාවලිය තුළ පවතින පාරදෘශ්‍යභාවය පිළිබඳව බරපතළ ගැටලු මතුවී තිබෙන බව ඔවුන් පෙන්වා දුන්නේය.

එබැවින් අමාත්‍ය මණ්ඩලය විසින් කිසිදු සාධාරණ කරුණු අධ්‍යයනයකින් තොරව අදාළ කොටස් පැවරීමට ගනු ලැබූ තීරණය තුළින් රටේ මහජනතාවගේ මූලික අයිතීන් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබුණි.