මුලතිව් කුරුදුමලෙයි ඓතිහාසික කුරුන්දි විහාරයේ චෛත්‍ය ඉදිකිරීම් ඇතුලු නටඹුන් වහාම ඉවත් කරන ලෙසට මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග දී ඇතැයි කුරුන්දි විහාරයේ විහාරාධිපති උතුරු පලාත් ප්‍රධාන සංඝනායක පූජ්‍ය ගල්ගමුවේ සන්තබෝධි හිමියන් පැවසීය.
පසුගිය 14 වනදා මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයේදී පැවති නඩුවාරයේදී මහේස්ත්‍රාත් ආර්. සර්වනරාජා මහතා විසින් අදාල නියෝගය ලබා දුන් බවටද කුරුන්දි විහාරයේ විහාරාධිපති හිමියන් සඳහන් කළා.
පසුගිය ජුනි 12 වනදා බුද්ධ ශාසන කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ සහ ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සෘජු අධීක්ෂණය සහ තාක්ෂණික දායකත්වයෙන් බෞද්ධාලෝක පදනමේ පූර්ණ අනුග්‍රාහකත්වයෙන් මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේ රණවිරුවන්ගේ සහ සිවිල් ආරක්ෂක බලකායේ ශ්‍රම දායකත්වයෙන් සංරක්ෂණය කෙරුනු චෛත්‍යරාජයානන් වහන්සේගේ සධාතුක කරඬු තැන්පත් කිරීමට නියමිතව තිබුනද එදින ප්‍රදේශවාසීන්ගේ සහ දෙමළ දේශපාලඥයින්ගේ විරෝධතාවක් හේතුවෙන් ධාතු තැන්පත් කිරීම තාවකාලිකව නවතා දැමීමට පියවර ගනු ලැබුවා.
විරෝධතාකරුවන් විසින් කුරුන්දි විහාරයට එරෙහිව මුලතිව් අධිකරණයේ ගොනුකොට තිබූ නඩුව නැවත විභාගයට ගන්නා ලෙසටද මෝසමක් මගින් ඉදිරිපත් කොට තිබුණා.
එහිදී මුලතිව් අධිකරණයේ පැවති නඩු වාර 3 කට පසුව කරුණු සැලකිල්ලට ගත් මුලතිව් මහේස්ත්‍රාත්වරයා කුරුන්දි විහාරයේ චෛත්‍ය ඉදිකිරීම් කටයුතු සියල්ලක්ම ඉවත් කරන ලෙසටත් නැවත කිසිදු ඉදිකිරීමක් සිදු නොකරන ලෙසටත් නියෝග කර තිබෙනවා.
කෙසේවෙතත් අදාල මහේස්ත්‍රාත් අධිකරණයට එරෙහිව මේ වන විට පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් නීතිපතිවරයාට කරුණු දක්වා ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරමින් සිටින බවටද කුරුන්දි විහාරයේ විහාරාධිපති පූජ්‍ය ගල්ගමුවේ සන්තබෝධි හිමියන් වැඩිදුරටත් පැවසුවා.
ඉතා ඉහළ වූ පුරාවිද්‍යා වටිනාකම ඇති වර්තමානයේ කුරුඳුමලෙයි ලෙසින් හඳුන්වන මෙම පූජා භූමිය කුරුන්දාශෝක සහ කුරුන්දපාසක නමින් හඳුන්වා ඇති බවට මහාවංශයේ සඳහන් වෙනවා.
එමෙන්ම කුරුන්දක, කුරුන්ද, කුරුන්දවේලි යනුවෙන්ද මෙම පූජා භූමිය හඳුන්වා ඇති බවට වංශකතාවල සඳහන් වන අතර ලංකාවේ ලියවුනු අට්ඨකතා ග්‍රන්ත මෙම පූජා භූමියේ සිට රචනා කොට ඇතැයිද විශ්වාශ කෙරෙයි.
ඛල්ලාඨනාග රජු ක්‍රි.ව.100 සහ 103 සියවස්හීදී කුරුඥපාසක නම් මෙම විහාරස්ථානය ගොඩනැගු බවත්, පළමුවන අග්බෝ රජු ක්‍රි.ව. 571 සහ 604දී කුරුන්දක විහාරය පිළිසකර කරවා කුරුන්දවාපි නම් වැවක්ද, පොල් උයනක්ද කරවා පූජා කළ බවත්, පළමුවන විජයබාහු රජු ක්‍රි.ව. 1055 සහ 1110 දී කුරුන්දි විහාරයට විවිධ අනුග්‍රහ දැක්වූ බවත්, දෙවන පැරකුම්බා රජු විසින් ක්‍රි.ව. 1236සහ 1270 කාලයේදී මෙහි පැවති කාලිංග මාඝගේ බල කඳවුරක් විනාශ කළ බවත් මහාවංශයේ සඳහන් වෙයි.
ජනප්‍රවාදයන්ට අනුව බුදුන් වහන්සේගේ පාද ස්පර්ශය වූ පිං බිමක් වශයෙන් ලංකාවේ විශාලතම කබොක් ගල්වලින් කරන ලද ආරාමය වශයෙන් උතුරු පලාතේ විශාලතම පුරාවිද්‍යා රක්ෂිතය වශයෙන් සහ මෙතෙක් සොයා ගෙන ඇති එකම පද්මාකාර ස්ථූපය සහිත පිං බිමක් වශයෙන් මෙම ස්ථානය හැඳින්වෙනවා.
එහිදී කුරුන්දි විහාර භූමියේ සිදු කරන ලද කැනීම්වලදී මාබල් බුදු පිළිමයක කොටසක්, බුද්ධ ප්‍රතිමා කොටස් කිහිපයක්, රජ කෙනෙකුගේ යැයි සැක කෙරෙන ප්‍රතිමාවක්, විවිධ වූ දේව ප්‍රතිමාවන්, ලෝකඩ වලින් සැකසූ බෝසත් පිළිම රැසක් මෙන්ම සෙල් ලිපියක්ද හමු වී ඇතැයි වාර්තා වෙනවා.